37-arrested-for-sneaking-onto-trains-using-whatsapp-to-make-tiktok-videos

 දුම්රිය ප්‍රවේශපත් පරීක්ෂකයන්ගේ ස්ථාන පිළිබඳව වට්ස්ඇප් සමූහ ඔස්සේ තොරතුරු හුවමාරු කරගනිමින් ප්‍රවේශපත් රහිතව ගමන් කළ මගීන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ෂක අංශය සමත් වී තිබේ. නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සිදුකළ මෙම විශේෂ වැටලීමේදී, අත්අඩංගුවට ගත් පිරිසගෙන් දඩ මුදල් ලෙස

රුපියල් 112,480ක මුදලක් අය කර ගැනීමට හැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙරේදා (02) ප්‍රකාශ කළේය.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසන පරිදි,

ප්‍රවේශපත් පරීක්ෂාවන් දුටු විගස ඇතැම් මගීන් එම තොරතුරු වට්ස්ඇප් ජාලා හරහා ක්ෂණිකව බෙදා හැරීමට පුරුදුව සිටිති. මෙම පණිවිඩය ලැබෙන ප්‍රවේශපත් රහිත මගීන් දඩ ගෙවීමෙන් බේරීම සඳහා විවිධ සූක්ෂම ක්‍රම අනුගමනය කරන බවද හෙළි වී ඇත. නිල ඇඳුමින් සැරසී රාජකාරි කිරීමේදී මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බැවින්, වැටලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යොදා ගැනීමට තීරණය කර තිබේ.

මෙම හදිසි වැටලීම පෙරේදා (02) උදෑසන 6.00 සිට 8.00 දක්වා බම්බලපිටිය දුම්රිය ස්ථානය ඉලක්ක කර ගනිමින් පවත්වා ඇති අතර, ඒ සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබිණි.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිසිදු කිරීමේ සේවාවල නියුතු සේවකයන් බහුතරයක් සිටි බවත්, විනෝදය සඳහා ප්‍රවේශපත් නොගෙන ගමන් කළ කිහිප දෙනෙකු ද ඔවුන් අතර වූ බවත් දුම්රිය ආරක්ෂක අංශ සඳහන් කරයි.

පරීක්ෂකයන් සිටින ස්ථාන මගහැරීමට දුම්රියෙන් බැස නැවත නැගීම, නියමිත නැවතුම්පොළට පෙර හෝ පසුව බැසීම සහ නිල නොවන මාර්ග ඔස්සේ දුම්රිය ස්ථානයෙන් පිටව යෑම වැනි උපක්‍රම ඔවුන් භාවිතා කරන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. මෙවැනි වැටලීම් සිදුකරන දිනවලින් පසුව දින කිහිපයක් යන තුරු දුම්රිය ප්‍රවේශපත් කවුළුවල ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය අධිකාරී ජී.ඩබ්. සුමිත් සහ සහකාර අධිකාරී කපිල කලුබෝවිල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, රත්මලාන කාර්යභාර නිලධාරී නිමල් ගුණරත්න මහතා විසින් මෙම වැටලීම මෙහෙයවා ඇත.