former-mps-daughter-dr-maheshi-referred-government-patients-to-her-pharmacy-to-buy-medicines-at-higher-prices

අල්ලස් කොමිසම විසින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ජුනි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම තීරණය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ගෙන ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීම මත ය.



අල්ලස් කොමිසමට අනුව, වෛද්‍ය මහේෂී විජේරත්න සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තම පෞද්ගලික වෛද්‍ය ආයතනය හරහා රෝගීන්ට ඇතැම් ඖෂධ වැඩි මිලට අලෙවි කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, රජයේ රෝහල වෙතින් එම ඖෂධ මිලදී ගැනීමට රෝගීන් යොමුවීම හිතාමතාම මගහරවා ඇත.

අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා වන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකරණ සහකාරවරයෙකු වන කැකුලන්දල ලියනගේ ඉන්දික සහ ඉහත වෛද්‍යවරිය අනීතිකව පවත්වා ගෙන ගිය පුද්ගලික ආයතනයක සේවය කළ කඩවත ප්‍රදේශයේ පදිංචි මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන අයයි.

රෝහලට තම නිල සැපයුම් අංශය හරහා මෙම ද්‍රව්‍ය සැපයීමට හැකියාව තිබියදීත්, අදාළ පුද්ගලයන් විසින් රෝගීන් නොමඟ යවා බාහිර පෞද්ගලික පාර්ශ්වවලින් ඒවා මිල දී ගැනීමට යොමුකර ඇති බවට චෝදනා එල්ල වේ.


අල්ලස් කොමිසම පෙන්වා දුන්නේ, ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර,

රෝහල් කාර්යය මණ්ඩලය හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මඟින් එම අයිතම ලබා ගැනීම සඳහා උපදෙස් ලබාදීම තුළින් රෝගී පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශවයන්ට අයුතු ලාභයක් ලබා ගැනීම බවයි.

මෙමගින් රෝගීන්ට මූල්‍යමය වශයෙන් අලාභයක් සිදුවී ඇති අතර සැකකරුවන්ට සහ අනුබද්ධ බාහිර සැපයුම්කරුවන්ට අනවශ්‍ය ලාභයක් හිමිව ඇති බව කොමිසම පවසයි.

කොමිසම විසින් අනාවරණය කරගෙන ඇති පරිදි, එම අයිතමය සඳහා 2022 වර්ෂයේ දී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17,500/- ක් පමණ වී ඇති අතර, එහි සාමාන්‍ය වර්තමාන වෙළඳපොළ මිල රු.46,500/- ක් පමණ වනවා. නමුත් අදාළ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන බාහිර පාර්ශ්වයන් මගින් රෝගීන් මෙම අයිතමය ලබා ගැනීමේ දී රු. 120,000/- සිට රු.250,000/- පමණ වන වටිනාකම් ඒ සඳහා දැරීමට සිදු වී ඇත.


මේ වන විට මෙලෙස ශල්‍ය කර්මයන්ට භාජනය වූ 300ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර, එයින් 77 දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇති බව කොමිසම පෙන්වා දෙනවා. ශල්‍යකර්‌ම වලට භාජනය වූ ඉහත පිරිසෙන් සැලකිය යුතු රෝගීන් පිරිසක් මිය ගොස් ද ඇති බව විමර්ශන වලදි අනාවරණය වී තිබෙනවා.

අල්ලස් කොමිසම වැඩිදුරටත් පවසන්නේ එලෙස ප්‍රකාශ සටහන් කරගත් පිරිසට අදාළව (රෝගීන්ට) රුපියල් කෝටි තුනකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවයි.




2022 වසරේදී EVD නමැති ශල්‍ය උපකරණයක් වැඩි මුදලකට පිටතින් මිලදී ගැනීමේ අත්දැකීමකට මුහුණ දුන් තැනැත්තියක් ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් තබා තිබුණා:

"2022 වසරේ මාර්තු මාසයේදී, අපි දරුණු අනතුරකට මුහුණ දුන්නා, එහිදී දරුවෙකු අපේ මෝටර් රථයේ ගැටුණා. අපි ඔහුව රෝහලට ගෙන ගියා, ස්නායු ශල්‍ය වෛද්‍යවරයා කිව්වා ඔහුට හදිසි සැත්කමක් සිදු කරන්න අවශ්‍යයි කියලා, අපට EVD එකක් පිටතින් මිලදී ගන්න යැයි පැවසුවා, එහි සාමාන්‍ය මිල රු. 17,500 ක් පමණ වුවත් අපිට ඒ සඳහා රු. 130,000 ක් ගෙවන්න වුණා.

සතියකට පමණ පසු, දරුවාට දෙවන EVD එකක් අවශ්‍ය වුණා, නැවතත් අර වැඩි මිලටම. එය දෙවරක් මිලට ගන්න අපිට සිදු වුණා, දෙකම සාමාන්‍ය ගණනට වඩා බොහෝ ගුණයකින් වැඩියි. අපි ළඟ තවමත් ඒ රිසිට්පත් සහ සාක්ෂි තියෙනවා.

මාසෙකින් පසුව, රෝහල් ගාස්තු ඉතා ඉහළ ගිය නිසා දරුවාව රජයේ රෝහලකට මාරු කරන්නැයි අපි ඉල්ලීමක් කළා. කෙසේවෙතත්, අවාසනාවකට වගේ වසරකට පමණ පසු දරුවා මිය ගියා."




විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහේන්ද්‍ර සූරසිංහ විජේරත්නගේ දියණියයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වී මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2011 වසරේදී භාරත ලක්ෂ්මන් සමග ඇති වූ ගැටුමේදී හිසට වෙඩි වැදීමෙන් සිදුවූ හානියට ප්‍රතිකාර කර ඇත්තේ ද විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න විසිනි.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට පවුලේ ඥාතීන් විසින් කටයුතු කරනු ලැබුවේද අදාළ වෛද්‍යවරියගේ අධීක්ෂණය යටතේ සිටියදීයි.

2022 වසරේ මැයි 31 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව අත්අඩංගුවට ගත් දුමින්ද සිල්වා ඊට පසු දින ජයවර්ධනපුර රෝහලේ රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වන 18 වාට්ටුවට ඇතුළත් වී තිබුණේ අසනීප තත්ත්වයක් බව පවසමින්. එහිදී, ඔහු 03 වැනි වාට්ටුවේ පළමු පන්තියේ කාමරයකට මාරු කර තිබු අතර එය නිර්දේශ කර ඇත්තේ දුමින්ද සිල්වාට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න විසින් බවද වාර්තා වුණා.


මේ අතර, වෛද්‍යවරියට එරෙහිව එල්ල වී ඇති තවත් චෝදනාවක් වන්නේ කාන්තාවකට වීදුරු කටුවලින් ඇණ තුවාල සිදු කිරීමයි. 2015 වසරේදී කොළඹ ගලධාරී හෝටලයේදී තවත් කාන්තාවක් සමඟ ඇතිවූ බහින්බස් වීමකදී කෝපයට පත්වී අසල තිබූ වීදුරු බඳුනක් පොළවේ ගසා කඩා ඉන් අදාළ කාන්තාවට බරපතළ තුවාල කර ඇති බව වාර්තා වුණා.

එවකට මාධ්‍ය වාර්තා කර තිබුණේ, සිදුවීම සම්බන්දයෙන් පහර කෑමට ලක්වූ තැනැත්තිය එදිනම කොටුව පොලිසීයට අනුක්‍රමික අංක WCIB/ 16/06 යටතේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබූ නමුත් මහේෂි විජේරත්න වෛද්‍යවරිය සතුව තිබූ දේශපාලන බල සබඳතා මත ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බවයි.




මේ අතර, අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක වූ මහේෂි විජේරත්න අත් අඩංගුවට ගැනීම රජයේ කුමන්ත්‍රණයක් ලෙස හෙළා දකිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලිපි ශීර්ෂයක් යටතේ සමාජ මාධ්‍යයේ සැරිසරන ලිපිය මුළුමනින්ම ව්‍යාජ එකක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ ව්‍යාජ ලේඛනය සකස් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නාමය සහ නිල ලාංඡනය අවභාවිතා කර ඇති බව ද එම 'ව්‍යාජ සහ කූඨ' ලේඛනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිදු සම්බන්ධයෙක් නොමැති බවත් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කීර්ති නාමයට හානි කිරීමේ දේශපාලන අරමුණින් සිදු කරන මෙවන් මඩ ප්‍රචාර සහ ව්‍යාජ තොරතුරු බෙදා හැරීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සංගමය තීරණය කර ඇති බවද හෙතෙම අවධාරනය කරයි.