මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (18) ප්‍රකාශ කළේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බව තමන් අවුරුදු දෙකකට පෙර දැනසිටියත්, ඒ බව කියන්නට තම බිරිඳ හැර වෙන කිසිවෙකු නොසිටි බවයි. සිරිවර්ධන මහතා මෙම ප්‍රකාශය කළේ ජනාධිපති කාර්යාලයේ පැවති තම විශ්‍රාම ගැනීමේ උත්සවය අමතමිනි.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී සිරිවර්ධන මහතා ඉතා චිත්තවේගීව කතා කරමින් තමන් අත්දැකි මානසික පීඩනය තවමත් දැනෙන බව අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන් ඉදිරිපත් කළ අනතුරු ඇඟවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය හෝ වෙනත් ප්‍රධාන තීරණ ගන්නන් විසින් නිසි ලෙස සැලකිල්ලට නොගත් බවයි.
"අප්‍රේල් 8 වැනිදා මම වැඩ බාර ගත්ත දවසේ නෙමෙයි, මේ රට වැටෙන බව මම අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියා. මට මේක කියන්න වෙන කිසිම කෙනෙක් හිටියේ නෑ- මම ගවනර්ට කිව්වා. ගෙදර ගිහිල්ලා මම හැමදේම කිව්වෙ මගේ බිරිඳට, ඒ මානසික පීඩනය තාමත් මට දැනෙනවා," යැයි සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
තමන් මෙම ආර්ථික අර්බුදය සමඟ අවුරුදු පහක් තිස්සේ දුක් විඳි බවත්, එය පැහැදිලිවම දුටුවත් නිවැරදි කිරීමට හැකියාවක් නොතිබූ බවත් සිරිවර්ධන මහතා පැවසීය. "මම මේක දැනගෙන හිටියා. ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ. මම කියපු දේවල් කවුරුත් ගණන් ගත්තේ නෑ. මුදල් මණ්ඩලය ගණන් ගත්තෙත් නෑ. ඒ දවස්වල හිටපු අධිපතිවරු ගණන් ගත්තෙත් නෑ."
සිරිවර්ධන මහතා තවදුරටත් ප්‍රකාශ කළේ මෙම ආර්ථික අර්බුදය පැමිණෙන බව ඉතා පැහැදිලි වූවත්, ඒ පිළිබඳ කිසිදු නිසි අවධානයක් යොමු නොවූ බවයි. "මේ තත්වය එනවා කියලා සක්සුදක් සේ පැහැදිලි වුණා. නමුත් ඒ අනතුරු ඇඟවීම්වලට නිසි අවධානයක් යොමුවුණේ නෑ."
ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදයේ මුල සිට අද දක්වා සේවය කළ එකම ජ්‍යෙෂ්ඨ නිලධාරියා තමන් විය හැකි බව ද සිරිවර්ධන මහතා සඳහන් කළේය. "මේ අර්බුදයේ 2020 සිට අද වනතුරු ඉන්න එකම ජ්‍යෙෂ්ඨයා මම වෙන්න පුළුවන්. ඒ අත්දැකීම්වලින් තමයි මම මේ ඉතා වගකීමෙන් කියන්නේ," යැයි ඔහු තම කතාව අවසන් කළේය.
මහින්ද සිරිවර්ධන මහතාගේ මෙම අනාවරණය, ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදය පිළිබඳව තවදුරටත් ප්‍රශ්න මතු කරයි. ඔහුගේ ප්‍රකාශය අනුව, නිසි අවස්ථාවේදී ක්‍රියාමාර්ග ගත්තේ නම් සමහර විට අර්බුදයේ බරපතලකම අවම කර ගැනීමට හැකියාව තිබුණි.
ජනාධිපති අනුර දිසානායක මහතා සිරිවර්ධන මහතාගේ සේවය අගය කරමින් සුබ පැතුම් පළ කළ අතර, රටේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමේ අභියෝගය පිළිබඳව ද අවධානය යොමු කළේය.