
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ. සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් රෝහල් කාර්ය මණ්ඩලය රාජකාරී කටයුතුවලින් ඉවත් වී ඇති අතර, අද (11) පෙරවරුවේ සිට බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කිරීම් පවා නවතා දමා ඇත.
මාර්තු 10 වන දින සවස 6:30ත් 7ත් අතර කාලයේ සිදු වී ඇති මෙම අවාසනාවන්ත සිද්ධියට ගොදුරු වූ 32 හැවිරිදි වෛද්‍යවරිය තම රාජකාරී කටයුතු අවසන් කර වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී ඇති නේවාසිකාගාරයට පැමිණි පසු, නාඳුනන පුද්ගලයෙකු පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා වෙයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන පරිදි, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිදුවීමට අදාළ සැකකරු දැනටමත් හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇත.අනුරාධපුර ශික්ෂණ රෝහලේ දොස්තර නිවාසයේදී කාන්තා වෛද්‍යවරියකට සිදුවූ ලිංගික අතවරයට සැකකරු හමුදාවෙන් පලා ගිය සෙබළෙකු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (11) පාර්ලිමේන්තුවේදී හෙළි කරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කරන අතර, පොලීසියේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කර ඇත්තේ, අද (මාර්තු 11) දින උදෑසන සිට හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් රාජකාරිවලින් වෛද්‍යවරුන් ඉවත්ව සිටින බවයි.
"අද අපේ විධායක කමිටුව රැස් කරලා මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නවා," යැයි වෛද්‍යවරුන් දීපව්‍යාප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ දැයි විමසූ විට වෛද්‍ය විජේසිංහ පැවසීය.
වෛද්‍ය චමිල් විජේසිංහ තවදුරටත් පැවසුවේ වෛද්‍යවරිය මෙලෙස ලිංගික හිංසනයකට ලක් වී ඇත්තේ, ඇය රාජකාරියේ යෙදී සිටියදී බවයි.
"ඩියුටි හිටපු වෛද්‍යවරියක් ක්වාටස් එකේ ඔන්කෝල් රූම් එකේ ඉන්නකොට තමයි මෙහෙම බරපතළ ලිංගික හිංසනයකට ලක් වෙලා තියෙන්නේ. අනුරාධපුර වගේ බොහෝ පුද්ගලයන් ගැවසෙන ප්‍රධාන රෝහලක් ඇතුළේ තමයි මෙහෙම පිහියක් පෙන්වලා වෛද්‍යවරියකට ලිංගික හිංසන කරලා තියෙන්නේ," ඔහු පැවසීය.
වෛද්‍ය විජේසිංහ පෙන්වා දුන්නේ රෝහල් තුළ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිගු කාලයක සිට ගැටලුවක් පවතින බවයි.
"රෝහල් තුළ කාලයක පටන් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි බරපතළ සිදුවීමක් මෑතකදී වාර්තා වුණු පළමු අවස්ථාව මේක වුණත් උතුරු පළාතේ රෝහල්වල වෛද්‍යවරුන්ට විවිධ බාහිර බලපෑම් ඇති වුණා," යැයි ඔහු පැවසීය.
"මේ නිසා රෝහල්වල ආරක්ෂාව යම් වගකිවයුතු ක්‍රමයකට සකස් කළ යුතුයි කියලා අපි කාලයක පටන් කියලා තියෙනවා."
"මෙතෙක් සැකකරු අත්අඩංගුවට අරගත්තා කියලා අපිට දැනගන්න ලැබිලා නෑ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියා සිටිනවා මේ සම්බන්ධයෙන් වහා ම ක්‍රියාත්මක වෙන්න කියලා."
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් මෙම තත්ත්වය යටතේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර, දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval