update-the-young-woman-killed-in-canada-nilakshi-is-the-granddaughter-of-former-jaffna-mayor-doreappa

කැනඩාවේ මාර්කම් ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් එම නිවසේ වාසය කළ 20 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක ජීවිතක්ෂයට පත්වූ පුවත මින් ඉහත අපි වාර්තා කළෙමු. දැන් ලැබෙන අලුත් වාර්තා වලින් කියැවෙන්නේ
මෙසේ මියගොස් තිබෙන්නේ, යාපනයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ මිණිබිරියක වන රගුදාස් නිලක්ෂි නැමත්තියක බවයි.
මෙම ඝාතනය දේශපාලන හේතුවක් මත සිදුවුණේද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ.
වෙඩි තැබීම සිදු වූ මෙම නිවස කැනඩාවේ මාර්කම් නගරයේ කාසල්මෝර් මාවතේ පිහිටා තිබුණි.
යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ සිට කැනඩාවට ගිය මෙම තරුණිය වසර දෙකක්ම ජීවත් වි ඇත්තේ එම නිවසේය. ඇය සමග පුරුෂයෙකුද එහි පදිංචිවී ඇති අතර වෙඩි තැබීමේදී ඔහු තුවාල ලබා ඇත. නිලක්ෂි සහ නිවසේ සිටි සුනඛයා වෙඩි ප්‍රහාර නිසා මියගියහ.
එම නිවසට මීට පෙර අවස්ථා දෙකකදීම වෙඩි තැබීම් සිදුව ඇති බවත්, ඒ දෙකම සිදුකළ අය කැනඩා පොලිසිය සොයාගෙන නොතිබූ බවත් වාර්තා විය.
තුවක්කුකරුවෝ මෙම ඝාතන සිදුකර ඇත්තේ නිවස ඇතුළට කඩාවැදී බවට සැක කෙරේ.

 හතර දෙනෙකු කැබ් රථයකින් පලා යන අයුරු සී.සී.ටී.වී කැමරා පද්ධතියක සටහන්වී තිබුණත්
මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදු කරන ලද පළමු දේශපාලන ඝාතනය යාපන නගරාධිපති දොරේ අප්පාය.
දොරේ අප්පා මහතා 1960 සිට 1965 දක්වා යාපනය නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස සේවය කර පසුව නගරාධිපති තනතුරට පත්වූයේය.
1975 ජූලි 27 වනදා එවක යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය ශ්‍රී ලංකා‍ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන අතර වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ඔහුට වෙඩි තබා පලා ගිය බව පසුව කළ රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළි විය.

අනතුරුව එම කණ්ඩායමේ විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවූ අතර 1983 දී ප්‍රභාකරන්ගේ කණ්ඩායම හමුදා සෙබළුන් 13දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ ඇති වූ කළු ජූලිය මෙරට 30 වසරක් පුරා පැවති යුද්ධයට පාර කපනු ලැබීය.

දොරේ අප්පා මහතා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අතර යාපනයේ ප්‍රබල දේශපාලන නායකයෙකි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායක මහතා යාපනයට පැමිණෙන විට දින ගණන් ඔහුගේ නිවසේ නැවතී සිටි බවද වාර්තා පළ විය.
දොරේ අප්පාව ඝාතනය කිරීමට පෙර දින ප්‍රභාකරන් ගිනි අවියක් රැගෙන රසායනික ද්‍රව්‍ය, මූනිස්සම් හා ගිනි පෙට්ටි බණ්ඩලයක් රැගෙන විත් උණ්ඩ සාදා තිබූ බව හෙළිවූ අතර දොරේ අප්පාව ඝාතනය කර ජාතිවාදයට බෙදුම්වාදයේ මුල්ම සන්නද්ධ වෙඩිල්ල පත්තු කර තිබුණි.

සිද්ධියට සම්බන්ධ පෙර විස්තරය
කැනඩාවේ නිවසකට එල්ල කළ ප්‍රහාරයකින් ලංකාවෙන් ගිය නිලක්ෂි හා සුනඛයෙකු මරුට