katunayake-porter-prasanna-ranaweera

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර්වරයාට කනේ පහරක් ගැසූ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඊයේ (16) පිළිගත්තේය. රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් (14) වැනිදා න අලුයම් කාලයේ ඇමති ආරක්ෂකයින්ද සමඟ කටුනායක ගුවන් තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිද විදේශ ගත කිරීම සඳහා බව පැවසේ.

ගුවන් තොටුපළේ ප්‍රධාන දොරටුවෙන් රාජ්‍ය ඇමතිවරයා ගිනි අවි අතැති ආරක්ෂකයින් සමඟ ඇතුළ් වීමට උත්සාහ කිරීමේදී එසේ ගිනි අවි සමඟ ඇතුල් වීමට ඉඩදිය නොහැකි බව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය ඇමතිවරයාට පවසා තිබේ.එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට බැන වැදී ඇති බවද පැවසේ.මේ අතර ඔහුගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට ප්‍රසන්න රණවීර මහතා පහරදීමක් සිදු කර තිබේ.

ඊට හේතු වී ඇති පෝටරවරයාට ගෙවිය යුතු වූ රුපියල් දහසක මුදල වෙනුවට ඔහු විසින් රුපියල් හත්සියක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් පෝටර්වරයා සිය විරෝධය පළ කිරීම බවද කියැවේ.

ගුවන් තොටුපළේ සේවා සපයන පොටර්වරයෙකුට රුපියල් දහසක මුදලක් ගෙවිය යුතු බව දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර ඇත. රාජ්‍ය අමාත්‍යවරයා පෝටර්වරයාට කම්මුල් පාරක් එල්ල කිරීමෙන් පසු ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත. පහර කෑ පෝටර්වරයා ගුවන්තොටුපොළ පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගොස් ඇත. ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පැවසේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය '' අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා ඔහුව පැත්තකට අරන් කනේ පාරක් ගැහුවා ඒක ඇත්ත.''පැමිණිල්ලක් කිරීමට පොලිසියට ගිය පහර කෑ තැනැත්තාට පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ මේ අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා නොමැති බැවින් පසු දින ඇවිත් පැමිණිලි කරන ලෙසය.එහෙත් කුමන හෝ හේතුවක් මත එම තැනැත්තා ඉන්පසුව පොලිසියට ගොස් නොමැති බවද වාර්තාවේ.

ආරියරත්න රණබාහු (ලංකාදීප)