
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සුම් තුවාල සහිතව 16 හැවිරිදි ජූඩු ක්මාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් නීතිපතිවරයා දුන් උපදෙස් මත අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (16 වැනිදා) නියෝග කළේ ය.
මෙම සිද්ධියට අදාළව සැකකාර හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවට නීතිපතිවරයා විසින් කළ දැනුම්දීම පරිදි අදාළ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේ ය.
ඉශාලනී දැරිය මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් බිරිඳ වන කිදර් මොහොමඩ් සියාබ්දීන් අයිෂා,
ඇගේ පියාවන අලි ඉබ්‍රහිම් කිදර් මොහොමඩ් සහ දැරිය කොළඹට රැගෙන ආ තැරැව්කරු වන පොන්නයියා පණ්ඩාරම් නොහොත් සංකර් නමැති අය මෙම සිද්ධියේ විත්තිකරුවන් ලෙස නම්කර නඩු පවරන ලෙසද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.
නීතිපතිවරයා වෙනුවට අදාළ උපදෙස් සහිත ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් අධිකරණය වෙත යොමුකර තිබිණි.
අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ නිරතව සිටි 16 හැවිරිදි ජූඩ් ඉශාලිනි දැරිය 2021 ජූලි 03 වැනිදා පිලිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. දින 12 ක් ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය 2021 ජූලි 15 වැනිදා මියගොස් තිබිණි.
දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළව ඇයට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවත්, පිලිස්සුම් තුවාල විෂබීජ ආසාදනයන් හේතුවෙන් ඇති වූ කම්පනයකින් මරණ සිදුව ඇති බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය රුෆල් හක් වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබිණි.
(ඉෂාර රත්නකාර)
Comments
Post a Comment
Your comment will be visible after approval