
කිරිඇල්ල නගරයෙන් පසුගියදා වාර්තා වූ ගෙල බැඳි රන්මාලය සොරකම් කරන්නට කාන්තාවක මරාදැමූ සිදුවීම ගැන අලුතින් වාර්තාවන කරුණු අනුව මිථ්‍යා දෘෂ්ඨික අදහසින් විශ්වාස කරමින් කොඩිවින කරගත් කාන්තාවගේ ක්‍රියා පටිපාටිය ගැන කරුණු හෙලිවේ.
චන්ද්‍රිකා පෙරේරා යනු ඇහැලියගොඩ, ඇරෑපොල හංදියේ නිවසක පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු මවකි. පසුගිය කාලය පුරාම ආර්ථිකමය ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ ඇය ඊට පිළියම් ලෙස නිරන්තරයෙන්ම සිදුකර තිබුණේ ශාන්තිකර්මය. ඊට ප්‍රධාන වශයෙන්ම බලපා තිබුණේ තමාට, දරුවන්ට හා සැමියාට හිස එසවිය නොහැකි වන තරමටම කිසිවකු විසින් හෝ සිය පවුලට හූනියමක් සිදුකර ඇතැයි යන විශ්වාසයයි.
එම කාන්තාව පසුගිය කාලය පුරාම කිරිඇල්ල ප්‍රදේශයේ යකැදුරකු හමුවට ගියේ තම පවුලටම විනයක් බවට පත්ව ඇතැයි කියන එකී කොඩිවිනය ඉවත් කරගෙන ආරක්ෂාවක් කර ගැනීම සඳහා ය.
රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය කරමින් ඇය මෙම කොඩිවිනය ඉවත් කරගැනීමට උත්සාහ කළ අතර, යකැදුරා විසින් ඇයට රන් සුරයක් ද පළඳවා තිබිණි.
මේ අතර එම කාන්තාව පසුගිය අප්‍රේල් 24 වැනිදා උදෑසන නිවසෙන් පිටව ගිය පසු ඇය ගැන කිසිදු තොරතුරක් සොයාගත නොහැකි විය.
අනතුරුව පසුදින (25 වැනිදා) චන්ද්‍රිකා පෙරේරාගේ පුතු විසින් ඇහැලියගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ තම මව අතුරුදන් වී ඇති බව සඳහන් කරමිනි. ඇයගේ ජංගම දුරකතනය ද ක්‍රියාවිරහිතව ඇති බවත් දින ගණනාවක් ගතවූ පසුව හෝ ඇයට කතාකිරීමට කිසිදු උවමනාවක් නොවූ බවත් පැමිණිල්ලේ සඳහන් විය.
ඒ අනුව ඇහැලියගොඩ පොලිසිය මෙම කාන්තාවගේ අතුරුදන්වීම ගැන විමර්ශන ඇරැඹීය. චන්ද්‍රිකාගේ ජංගම දුරකතන අංකය ඔස්සේ දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබාගත් පොලිසිය එහි වූ එක් සුවිශේෂි දුරකතන අංකයක් නිරීක්ෂණය කර තිබිණි. චන්ද්‍රිකා නිවසෙන් පිටව ගිය බව පැවසෙන අප්‍රේල් 24 වැනිදා උදෑසන ඇයගේ දුරකතනයට එකී අංකයෙන් ඇමතුම් ගණනාවක් ලැබී තිබූ අතර, ඇය ද එම අංකයට ඇමතුම් ලබාගෙන තිබිණි.
එම දුරකතන අංකයේ හිමිකරු කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බව අනාවරණය කරගත් ඇහැලියගොඩ පොලිසියේ නිලධාරිහු ඔහු සොයාගැනීමේ අරමුණෙන් කිරිඇල්ල පොලිසියට පැමිණියහ.
කිරිඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද පෙරේරා හමුවූ ඇහැලියගොඩ පොලිසියේ නිලධාරීහු කිරිඇල්ල පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක ද හමුවී මෙම පුද්ගලයා ගැන විපරම් කළෝය.
ඇහැලියගොඩ පොලිසිය විසින් සොයා ආ ප්‍රභාත් ජයසිංහ නමැත්තා ඒ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ කිරිඇල්ල පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ අතටම හක්කපටස් සමගින් හසුවීමෙන් පසුවය.
අතුරුදන් වූ කාන්තාව හා ප්‍රභාත් ජයසිංහ අතර පැවැති සබඳතාවක් ගැන අනාවරණය වූයේ මේ අතරතුරය.
කිරිඇල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කැළුම් නමැත්තකු පසුගියදා කිරිඇල්ල පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ඩී.එස්. දිසානායකට පවසා ඇත්තේ ප්‍රභාත් නැමැත්තා විසින් ඉඩංගොඩ ප්‍රදේශයේ රන් භාණ්ඩ මිලදීගැනීමේ මධ්‍යස්ථානයකට රන් සුරයක් අලෙවි කර ඇති බවයි.
මෙම රන් සුරය ප්‍රභාත් විසින් සොරකම් කළ එකක් යැයි සැක කළ පොලිස් නිලධාරීන් ඉඩංගොඩ නගරයේ පිහිටි එකී රන් භාණ්ඩ මිලදී ගැනීමේ හා උකස් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණියේ එම සුරය ගැන සෙවීමේ අරමුණෙනි.
කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් නමැත්තා විසින් මෙය විකුණූ බව එම මධ්‍යස්ථානයේ හිමිකරු අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට එහිදී පවසා තිබිණි.
එම සුරයේ ඡායාරූපයක් ද අපරාධ අංශ ස්ථානාධිපතිවරයා විසින් ගෙන තිබුණේ රිමාන්ඩ් බාරයේ සිටින ප්‍රභාත් නමති සැකකරු ඇප ලබා පැමිණීමෙන් පසු ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අපෙක්ෂාවෙනි.
මේ අතර චන්ද්‍රිකා පෙරේරා අතුරුදන් වීමේ සිද්ධියට ප්‍රභාත්ගේ නම ද ගෑවී ඇති බැවින් කිරිඇල්ල පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා එම රන් සුරය අතුරුදන් කාන්තාවගේ බවට ද සැක කළේය.
එබැවින් අතුරුදන් බව පැවසෙන කාන්තාවගේ පුතුට එම රන් සුරයේ ඡායාරූපයක් යවා එය මවගේදැයි පොලිසිය විමසා තිබු අතර, එය මවගේ බව බව පුතු විසින් හඳුනාගෙන තිබිණි.
මේ අනුව ඇහැලියගොඩ පොලිසිය අධිකරණයෙන් අවසරයක් ලබාගෙන තිබුණේ හක්කපටස් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රභාත් ජයසිංහ නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමටය.
ඒ අනුව සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී චන්ද්‍රිකා පෙරේරා නමැති 57 හැවිරිදි කාන්තාව ඇහැලියගොඩ සිට කිරිඇල්ලට ගෙන්වාගෙන ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබේ.
චන්ද්‍රිකා පෙරේරා කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි හර්ෂන විමලරත්න නමති යකැදුරකු හඳුනාගෙන ඇත්තේ මීට වසරකට පමණ පෙරදීය. එම යකැදුරා කොඩිවින ඉවත් කිරීම, හූනියම් සිදුකිරීම ආදි විවිධ දෑ යක්ෂ හා දේව බලයෙන් ඉෂ්ඨ කර දෙන අයකු බවට චන්ද්‍රිකා විශ්වාස කර ඇත.
තම පවුලට කර ඇතැයි පැවසෙන කොඩිවිනයක් ඉවත් කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර චන්ද්‍රිකා කිරිඇල්ලට ගොස් තිබුණේ මෙම යකැදුරා හමුවී සුරයක් සකස් කර ගැනීමටය. නමුත්, එම ශාන්තිකර්මයෙන් ප්‍රතිඵල නැති බව තේරුම් ගත් චන්ද්‍රිකා වරින් වර යකැදුරාටත්, යකැදුරාගේ ගෝලයා වන ප්‍රභාත් නමැත්තාටත් දුරකතන මගින් කතා කර බැණ වැදී තිබිණි.
එවැනි වාතාවරණයක් පැවැතියදී පසුගිය මස 24 වැනිදා මෙම කාන්තාව කිරිඇල්ලට ගෙන්වාගෙන ඇත්තේ යකැදුරාගේ ගෝලයා වන ප්‍රභාත් ජයසිංහ විසිනි. ඔහු පවසා ඇත්තේ ගුරුන්නාන්සේ කොඩිවිනය ශක්තිමත් කරලා ආපහු සුරයක් හදලා දෙන්නම් කිව්වා, කිරිඇල්ලට එන්නැයි පවසමිනි. ඒ අනුව මෙම කාන්තාව පසුගිය 24 වැනිදා උදෑසනම ඇහැලියගොඩ සිට කිරිඇල්ලට පැමිණ ඇත.
යකැදුරා ප්‍රභාත්ට පවසා ඇත්තේ ‘‘මේ ගෑනිගෙන් හරි කරදරයක් තියෙන්නේ, මොනව හරි කරපං’’ යනුවෙනි.
ඒ අනුව චන්ද්‍රිකා කිරිඇල්ලට පැමිණ කිරිඇල්ල, හාන්දුකන්ද ප්‍රදේශයට ප්‍රභාත් සමග පැමිණ ඇත්තේ යකැදුරාගේ නිවෙසටය.
ඒ අතරතුර ප්‍රභාත් ඇයට කියා ඇත්තේ ‘‘මේ පාරෙන් ගියොත් දුර වැඩියි. කැලේ අස්සෙන් තියෙන ෂෝට් කට් එකෙන් යමු’’ යනුවෙනි.
ඊට එකඟ වූ චන්ද්‍රිකා කැලයේ මඳ දුරක් ගමන් කරමින් සිටියදී ප්‍රභාත් ඇයගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බව අනාවරණය විය. ගෙල සිරකර ඇය ඝාතනය කළ පසු ඔහු ඇය පැළැඳ සිටි රන් සුරය ද කොල්ලකා තිබිණි. ඉන්පසු මළ සිරුර කැළයේම අතු ගොඩක් යට සඟවා හෙතෙම පැනගොස් තිබිණි.
එම කැළයේ ඌරන් ඇතුළු සිව්පාවුන් ගැවසීම හා අවට ජනාවාස නොතිබීම ආදි කරුණු හේතුවෙන් එම කාන්තාවගේ මළසිරුර කිසිවකු විසින් දැක නොතිබිණි.
කෙසේ වෙතත් ප්‍රභාත් නමැති සැකකරු විසින් ලබාදුන් ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක වූ කිරිඇල්ල පොලිසියේ නිලධාරිහු ඇහැලියගොඩ පොලිසිය සමග එක්ව කිරිඇල්ල හාන්දුකන්ද කැළෑවේ මළසිරුර තිබු ස්ථානය සොයා ගත්හ.
ඒ වනවිටත් මළ සිරුර නරක් වි තිබු අතර, සිරුරු කොටස් සතුන් විසින් අනුභව කිරීම හේතුවෙන් කැබලිවලට වෙන්ව තිබිණි.
එම මළ සිරුර තම මවගේ බවට චන්ද්‍රිකා පෙරේරාගේ පුතු විසින් හඳුනාගෙන තිබුණේ ඇය පැළඳ සිටි ඇඳුමේ කොටස් හා පාවහන්වලිනි.
චන්ද්‍රිකා පෙරේරා නැමැත්තිය ඝාතනයට අදාළව කිරිඇල්ල නැඳුන්විහාරය අසල පදිංචි කම්කරුවකු වන ප්‍රභාත් ජයසිංහ හා ඊට ආධාර අනුබල දීමේ චෝදනාව මත හර්ෂණ විමලරත්න නමැති යකැදුරා කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හර්ෂණ විමලරත්න නමැති යකැදුරා මෙලෙස බොහෝදෙනකුගේ මිත්‍යා දෘෂ්ඨික ක්‍රියා මගින් රවටා මුදල් උපයා ඇති ව්‍යාජ ගුරකු බවද විමර්ශන වලදී හෙළිව ඇත.
කිරිඇල්ල පොලිසියේ ස්ථානාධිපති චමින්ද පෙරේරාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඩී.ඩී.එස් දිසානායක, පොලිස් සැරයන් උපාලි (28983), පොලිස් කොස්තාපල් දිනේෂ් (83095), පොලිස් කොස්තාපල් දේශාන් (70165) සහ පොලිස් කොස්තාපල් ප්‍රදීප් (385897) ඇතුළු නිලධාරිහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(එෆ්. අස්ලම්, සුනිල් පියතිලක - කුරුවිට)

Comments
Post a Comment
Your comment will be visible after approval