anuruddha-pushpakumara-israil

පසුගිය පොසොන් පොහෝය දා ඊශ්‍රායලයේදී මධ්‍යධරණී මුහුදේ හිතවතුන් පිරිසක් සමග දිය නෑමට ගොස් මුහුදේ ගසාගෙන යාම හේතුවෙන්  ශ්‍රී ලාංකික තරුණයකු අවාසනාවන්ත මරණයකට ගොදුරු විය.
තිස්හතර හැවිරිදි අනුරුද්ධ පුෂ්පකුමාර ගුණසිංහ නමැති තරුණයෙකු මෙසේ මියගියේය.
2015 වසරේ ඊශ්‍රායලයේ ගොවිපොළක් ආශ්‍රිත රැකියාවකට ගොස් සිටි ඔහු මියයන තුරු එහි සේවයේ නියුතුව සිටියේය.


ගොඩකවෙල කවුඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු සහෝදර සහෝදරියන් හතර දෙනකුගෙන් යුත් පවුලක බාලයා විය.
මියගිය ශ්‍රී ලාංකික තරුණයාගේ මෘත දේහය ඉකුත් 13 වැනිදා මෙරටට රැගෙන එනු ලැබූ අතර එසේ ගෙන ඒමට හැකිව ඇත්තේ දින දහයක් ගත වූ පසුව බව ද පවුලේ ඥාතීහු පැවසූහ.

මිය ගිය  තරුණයාගේ පියා වන ඒ.බී. ගුණසිංහ මහතා සිය බාල පුතුගේ හදිසි වියෝව සම්බන්ධයෙන් පැවසුවේ

‘මියගිය පුතා ඉතා ගුණයහපත් තරුණයෙක්..නිතරම අම්මගෙයි මගෙයි දුකසැප අහලා බලනවා. ඒ වගේම පුතා ගමේ ඉන්න කාලෙත් හැමෝම සමග හිතවත්ව සිටියා“ ඔහු පැවසීය.


‘පසුගිය පොසොන් පොහෝය දවසෙත් උදේ අපට කතා කළා. පස්සේ තමයි මේ විදිහට යාළුවන් සමග මුහුදේ නාන්න ගිහින් තියෙන්නේ. මියගිය පුතා පිටරට රැකියාව කරලා හම්බ කරපු ලොකු මුදලක් බැංකු පොතේ තියෙනවා. මීට අමතරව තේ අක්කර තුනක් තියෙනවා. දැන් ඉතින් එවායින් අපට වැඩක් නැහැ. එයාගේ සියලුම දේපළ සහ මුදල් යොදවලා පුතාට පින් දෙන්න පුළුවන් විදිහට පින් කටයුතු සිදු කරනවා‘  ගුණසිංහ මහතා පැවසීය.

 ඩබ්ලිව් ඒ සිරිසේන