Uproar-amid-case-as-Dianas-original-passport-files-missing

ශ්‍රී ලංකාවේ පාස්පෝට් එකක් ලබාගැනීමේදී ව්‍යාජ කරුණු ඉදිරිපත් කිරීම, ශ්‍රී ලංකාවේ පුරවැසිකම නොමැතිව මැතිවරණයකට ඉදිරිපත්වීම හා ද්විත්ව පුරවැසිකම සැගවීම ආදී ​චෝදනා කිහිපයක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවීමේ අවදානමකට ලක්ව සිටින


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් නොකරන බවට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. ඒ අනුව දේශපාලන හේතූන් මත යයි අනුමාන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ක්‍රියා පිලිවෙතට අධිකරණයෙන් බලපෑමක් කර නැත.



එම සිද්ධියේ පැමිණිලිකාර ඕෂල හේරත් සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් විසින් මීට පෙර දින අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් ව තිබියදීත් ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවට පෙන්වා දී තිබුණි.

එබැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ අධිකරණයට පැවරී තිබෙන බලතලවලට අනුව ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද එම නීතිඥවරු මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එහි තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ඊට අදාළව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විමර්ශන නිලධාරීන්ට බලයක් තිබෙන බවය.



එබැවින් තම අධිකරණය විසින් මීට අදාළව නියෝගයක් නිකුත් කිරීම අනවශ්‍ය බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව නඩුව දිනයක් නොමැති බහා තැබීමට ද මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් ඩයනා ගමගේ අත්අඩංගුවට නොගෙන සිටීමට ඒ අනුව හැකිවනු ඇත.
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාරදි ඇති ලේඛන අස්ථාන ගතවී ඇතැයි මින් ඉහත නඩුවාරයේදී දන්වා තිබූ අතර ඒ අනුව නඩුව නවත්වන්නටද උත්සහයක යෙදිණි.