dappula-liveira-court

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීම සහ නීතිපතිවරයා වශයෙන් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු නියෝග  නිකුත් කළේය.



හිටපු නිතිපතිවරයා විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝග නිකුත් කර තිබේ.



හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

අද (24) පෙරවරුවේ දී එම පෙත්සම ගොනු කර ඇත.

හිටපු නීතිපතිවරයා විශ්‍රාම යන දිනයේ දී මීට සිව් වසරකට ඉහත දී ස්ථාන කිහිපයක සිදු වූ මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් සිදු වූවා යැයි පැවසීම මෙවන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වීමට හේතුවයි.



මේ හේතුවෙන් වගකිවයුත්තෙකු එවන් කාරණයක් දැනගෙන සඟවාගෙන සිටීම විශ්මයට තුඩු දෙන්නක් හේතුවෙන් සහ සමාජයම ඒ ගැන කතාබහ කිරීමත් මත මේ වනවිට දප්පුල ද ලිවේරා ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණි.