shades-roshan-wanninayake-murder-updates

ෂේඩ්ස් (SHADES) නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක (49) ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසියට මේ වනවිට වැදගත් හෝඩුවාවන් රැසක්ම අනාවරණය කරගන්නට හැකියාව ලැබී තිබේ. පොලිසිය සැකකරන්නේ අවිවාහකයෙකුවූ ඔහු සමග සමීපයෙන් ඇසුරු කළ කාන්තාවක මෙම ඝාතනයට සම්බන්ධ බවටය. ඇය තවත් පිරිසකගේ සහායෙන් ඔහුව ඝාතනය කර මේවනවිට විදේශ රටකට පළාගොස් ඇති බවටද පොලිසිය සැක පළ කර තිබේ.


බත්තරමුල්ල පැලවත්ත එම්.ඩී.එච්. පුර පිහිටි සුවිසල් නිවෙසේ තෙවැනි මහලේ ඇති පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී ඊයේ (2) සවස ඔහුගේ සිරුර හමුවූ අතර මළ සිරුර නිරුවතින් ඉදිමී පාවෙමින් සිටියදී හඳුනාගන්නට ලැබී තිබේ.‍පිහිනුම් තටාකය ආසන්නයේ ලේ පැල්ලම් රැසක් තිබී ඇති අතර භූමියේ සලකුනු අනුව හිසට පහර දීමකින් මේ ව්‍යාපාරිකයා ඝාතනය කර නිරුවත් සිරුර ඇදගෙන විත් පිහිනුම් තටාකය වෙත දමා ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත.
මේ ව්‍යාපාරිකයාගේ යටඇඳුම් මෙන්ම තවත් ඇඳුම් කිහිපයක්ම පිහිනුම් තටාකය ආසන්නයේ තිබී ඇති අතර, ඔහු මිය යන විටත් සිට ඇත්තේ නිරුවතින් බවට සැකයක් මතුව තිබේ. පිහිනුම් තටාකය පිහිටි ස්ථානයේම උපත් පාලන කොපු දෙකක්ද තිබී ඇති අතර, ඉන් එක් උපත් පාලන කොපුවක් භාවිත කර ඇති අයුරක් පෙනී ගිය බව ස්ථානීය පරීක්ෂාවේදී හඳුනාගෙන තිබේ.

 වැල්ලම්පිටිය කිත්තම්පහුවේ නිවෙසේ සිය බාල සහෝදරිය සමග වාසය කළ ඔහු බත්තරමුල්ල නිවසට වරින් වර පැමිණ ගොස් ඇති අතර එහි වැඩ තවම අවසන්  නොවූ නිසා පදිංචියට පැමිණ නොතිබිණි.
 පසුගිය 30 දා සවස 5.30ට පමණ මේ ව්‍යාපාරිකයා වැල්ලම්පිටියේ පිහිටි නිවෙසින් තම මෝටර් රථයේ නැඟී පිටත්ව ගොස් ඇත්තේ 'කඩෙන් යතුර අරන් බත්තරමුල්ල ගෙදරට යනවා' යයි පවසාය.

එදින සන්ධ්‍යා කාලයේ 7.00ට පමණ ව්‍යාපාරිකයාගේ නැඟණිය ඔහුට දුරකතන ඇමතුම් කිහිපයක් ගෙන තිබුණ අතර, ඊට ඔහු ප්‍රතිචාර දක්වා නැත. ඇය එම ඇමතුම දී ඇත්තේ රාත්‍රී ආහාර සූදානම් කිරීම සම්බන්ධයෙනි. පසුව ඔහු රාත්‍රී 7.29ට පමණ සිය නැඟණියට අවසන් ඇමතුමක් ගෙන තමා ඇමතුවේ ඇයිදැයි පමණක් විමසා ඇත. එම ඇමතුමෙන් පසු සහෝදරයාට ඇමතුම් ලබාගත් කිසිදු අවස්ථාවක ඔහු ජංගම දුරකතනයට උත්තර ලබාදී නැති අතර එය ‘ස්විච් ඕෆ්‘ බවට නිවේදනයක් ශ්‍රවණයවී ඇත.

ඔහු ගැන ඊට පසු දිනයේ කිසි තැනකින් තොරතුරු නැති වූයෙන් ඔහු අතුරුදන්ව සිටින බව සඳහන් කරමින් නැඟණිය 1 වනදා වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි. පොලිසිය ඒ ගැන සොයා බලන්නට පෙර තමන්ට ඇතිවූ වැඩි සැකය මත නැඟණිය ඇතුළු පවුලේ සාමාජිකයන් පැලවත්තේ පිහිටි නිවෙසට ගොස් ඊයේ (2) සවස කළ පරීක්ෂා කිරීමේදී මළ සිරුර දැක ඒ බව පොලිසියට දැනුම්දීමෙන් පසු ඔහුගේ ඝාතනය ගැන තොරතුරු අනාවරණයවී තිබේ.

ඝාතනයෙන් පසු ඔහුගේ මුදල් පසුම්බිය හමුවූ නමුත් එහි ක්‍රෙඩිඩ් කාඩ් පත් 4ක් අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත් අතර ක්‍රෙඩිඩ් කාඩ් පත් මඟින් ගුවන් ටිකට් පත් 5ක් වෙන් කරගෙන තිබුණි. බ්‍රිතාන්‍යයට යාමට ගුවන් ටිකට් පත් 2 ක් ගෙන පසුව ඉන්දුනීසියාවට යාමට ගුවන් ටිකට්පත් 5 ක් වෙන්කරගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණයවී ඇත. ඔවුන් සැබවින්ම පාවිච්චි කර ඇත්තේ දෙවන වර ලබාගත් ටිකට් පත් බවට සැක පහළවී ඇත.
 අදාළ වෙන් කිරීම් කර ඇති වේලාවන් හා පුද්ගලයින් සම්බන්ධ තොරතුරු පොලිසිය මේ වනවිට පහසුවෙන් හඳුනාගෙන තිබේ.


මේ වනවිට එම පිරිස රටින් පිටව ගොස් ඇති බවට සැක මතුව තිබෙන අතර ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇති ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා භාණ්ඩද එක් ක්‍රෙඩිට් කාඩ්පතකින් මිල දී ගෙන ඇති බව පෙනී ගොස් තිබේ.

 ඝාතනය සිදුකරන්නට ඇත්තේ ඔහු සමග සමීපව ඇසුරු කළ කාන්තාවක විය හැකි බවට තොරතුරු පොලිසිය සොයාගෙන තිබේ. ඝාතනයෙන් පසු පිරිස පළාගිය බවට සැකකරන ව්‍යාපාරිකයාගේ අතුරුදන් මෝටර් රථය තවම හමුවී නැති අතර
 ආරක්ෂක කැමරා දර්ශන හා ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතන දත්ත විශ්ලේෂණය කරමින් තවත් තොරතුරු සොයමින් සිටී.
ව්‍යාපාරිකයාගේ ඝාතකයන් මේ වන විට රටින් පලාගොස් ඇති බැවින් අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගනිමින් සිටී.

සම්බන්ධිත ලිපි
ඝාතනයවූ Shades හිමිකරු ශ්‍රද්ධා TV අධ්‍යක්ෂ මණ්ඩලයේ - අතුරුදන් මෝටර් රථයත් හමු වෙයි
බත්තරමුල්ලේදී ඝාතනයවූ Shades අධිපති කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර තටාකයේ - වාහනයත් පැහැරගෙන ගිහින්