battaramulla-pelawatte-roshan-wanninayake-murder

බත්තරමුල්ල පැලවත්තේ ඉදිකරමින් තිබුණ නිවසක තුන්වන මහලේ පිහිටි නාන තටාකයක තිබී shades නමින් ප්‍රකට නිමි ඇඳුම් ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් අද (2) සවස හමුවී තිබේ. මෙම පුද්ගලයා වැල්ලම්පිටිය කිත්තම්පහුව පිහිටි නිවසක සිය සහෝදරියගේ පවුලේ අය සමග ජීවත්ව සිටි අතර බත්තරමුල්ලේ නිවස ඉදිකරමින් සිටි බව පැවසේ.

49 හැවිරිදි රොෂාන් වන්නිනායක නමැති ඔහු විවාහකයෙකු නොවූ අතර ප්‍රකට shades නිමි ඇඳුම් සාප්පු ජාලයහි හිමිකරු විය.
මීට දින තුනකට පෙර පසුගිය 30 වනදා ඔහු සහෝදරිය සිටි නිවසින් පිටව ගියත් නැවත නිවසට පැමිණ නොතිබිණි. ඔහුගේ ජංගම දුරකථනයද ඇමතුම් වලට ප්‍රතිචාර දක්වා නැත. මේ හේතුවෙන් ඔහුගේ සහෝදරිය දින දෙකක් ඔහුව සොයා ඊයේ (1) වැල්ලම්පිටිය පොලිසියට දන්වා ඇත්තේ ඔහු අතුරුදන් බවටය. ඔහු ව්‍යාපාරික ස්ථානයට ගොස් අලුතින් හදන නිවසට යන බව කියා යතුර රැගෙන ගියායින් පසු ඔහු අතුරුදන් බවත් අලුත් නිවසේ ඔහුගේ වාහනය හෝ නොමැති බවත් ඇය පවසා තිබුණි.
මේ අනුව ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණ අතර අද ඔහුගේ සිරුර හමුවන්නේ ඔහු ගිය බව කියූ ඔහුටම අයත් බව පැවසෙන බත්තරමුල්ල පැලවත්ත එන් ඩි එච්  පුර  සුඛෝපභෝගී තෙමහල් නිවසේ ඉහළ මාලයේ පිහිටි නාන තටාකයෙනි.
මළ සිරුර සොයා ගන්නා විට නිරුවත්ව තිබූ බව පොලිසිය කියා තිබේ.

ඉදිකරමින් පැවති නිවසේ බොහෝ වැඩ අවසන්ව තිබූ අතර ඔහු එම ස්ථානයට යන බව කියා යතුර රැගෙන ගිය පසු කුමක් කළේද යන්න තවම ප්‍රහේලිකාවකි.
 නිවස ආසන්නයේ සීසීටීවී පරීක්ෂා කළ පොලිසියට සැක සහිත කාරණා ගණනාවක් අනාවරණය කරගන්නට හැකිවී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා, සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මෙසේ කීය.
 "එම පුද්ගලයා 30 වනදා ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයකට ගොස් මෙම නිවසේ යතුර ලබාගෙන කාර් රථය පදවාගෙන නිවසට පැමිණ තිබෙන බව ඔහුගේ සහෝදරිය වැල්ලම්පිටිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා. නමුත් මියගිය ස්ථානයේ.. මෙම නිවසේ අදාළ කාර් රථය තිබුණේ නැහැ. ඒ වගේම ඔහුගේ දුරකථනය සහ මුදල් පසුම්බිය තිබුණෙත් නැහැ."
 ඔහු නිවසට එන වෙලාවේ මෙම ව්‍යාපාරිකයාගේ මෝටර් රථය තිබෙන අයුරු සීසීටීවී දර්ශන වල තිබුණත් සිරුර හමුවන අවස්ථාව වනවිට එය අතුරුදන් වී ඇති අතර එය ඝාතකයා විසින් රැගෙන යන්නට ඇති බව සැකකරන පොලිසිය අතර මැදි කාලයේ සිදුවූ දේවල් ගැන වැඩිදුර විමර්ශන කරමින් පවතී.
මේ අතර ස්ථානීය පරීක්ෂාව කරන ලද අවස්ථාවේ සිරුර ඇදගෙන විත් පිහිනුම් තටාකයට දමා ඇති බව පෙනී යන්නේ යැයි විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.

මළ සිරුර බිම දිගේ ඇදගෙන ගිය බවට වූ ලේ පහර සලකුණු පවා එහි තිබෙන බව ද මෙම ව්‍යාපාරිකයාගේ යට ඇදුම් මෙන්ම තවත් ඇදුම් කිහිපයක්ම පිහිනුම් තටාකය ආසන්නයේ තිබී හමුවී ඇතැයිද පැවසේ. මෙම ඝාතනයට කාන්තාවක් ඇතුළු පිරිසකගේ සම්බන්ධයක් ඇති බවට සැකයක්ද මතුවී ඇතැයිද ඒ ඔස්සේ කරුණු සොයමින් පවතින බවද වාර්තාවේ.

  කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් කමල් විජේසිංහ මහතා සිද්ධිය වූ ස්ථානයට බ්‍රහස්පතින්දා (2) පස්වරුවේ පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදුකර තිබුණු අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන තලංගම පොලිසිය සිදු කරයි.
සම්බන්ධිත ලිපි
ඝාතනයවූ Shades හිමිකරු ශ්‍රද්ධා TV අධ්‍යක්ෂ මණ්ඩලයේ - අතුරුදන් මෝටර් රථයත් හමු වෙයි
SHADES හිමිකරු ඝාතකයන් ඉන්දුනීසියාවට පැනලා - ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු අනාවරණය කරයි