delkanda-incident-umesh-lasantha-arrested

රථවාහන නඩුවක් පැවරීමට ගිය බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයේ නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුට අපහසාත්මක වචනයෙන් බැණ තර්ජනය කළ අමේෂ් නුවන්ත නමැති පුද්ගලයා මිරිහාන පොලිසිය විසින් ඊයේ (08දා) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුට ද්විත්ව සුදුඉර කපා ඉස්සර කිරීම හා අණ නොතකා ධාවනය කිරීම, රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකම් පෑම, අසභ්‍ය වචනයෙන් බැණ වැදීම ඇතුළු චෝදනා හයක් යටතේ නඩු පැවරීමට කටයුතු කළ බව මිරිහාන පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.



පසුගියදා හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ දෙල්කඳ මංසන්ධියේදී ඉර කපා ඉස්සර කරමින් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් විසින් නවතා එහි රියැදුරුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබිණි.

එහිදී මෝටර් රථය පැදවූ පුද්ගලයා පොලිස් නිලධාරින්ට අපහාසාත්මක අන්දමින් බැණ වදිමින් උඹලා අමේෂ් නුවන්ත කවුද කියලා දන්නේ නැහැ. උඹලා දන්නේ ඕ.අයි.සී. ව විතරනේ. ලයිසන් එක මගේ ගෙදරටම ගෙන්න ගන්නවා. උඹලා ඕනෑ දෙයක් ලියපල්ලා හිඟන්නෝ යැයි තර්ජනය කර තිබිණි.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළින් සංසරණය වීමෙන් පසු සැකකරු බිරිඳ සමගින් ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර ඔහු සිටින තොරතුරකට අනුව මිරිහාන පොලිසියේ විශේෂ කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් පෙරේදා විමර්ශන සිදුකළහ.



එම තත්ත්වය හමුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් ඊයේ මිරිහාන පොලිසියට පැමිණ භාර වූ අමේෂ් නුවන්ත නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු මහරගම නාවින්න පදිංචි නර්තන උපදේශකයෙකු මෙන්ම බිරිඳ සමගින් මහරගම ප්‍රදේශයේ රූපලාවණ්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

සැකකරු අද (09) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එෆ්.අස්ලම්

සිද්ධිය සම්බන්ධ පෙර විස්තරය
දෙල්කඳ හන්දියේදී පොලිසිය ලයිසන් ඉල්ලුවාම රියැදුරා ප්‍රභූ වෙසින් පාට්දාපු හැටි