france-katunayake

අසර්බයිජානය හරහා ප්‍රංශයට යෑමට උත්සාහ දැරූ පුද්ගලයන් හත්දෙනෙකු හා එම ජාවාරම මෙහෙයවූ බව කියන කහතුඩුවේ රැකියා නියෝජිතායතනයක හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය පවසයි. අසර්බයිජානයට යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලෙස කහතුඩුව ප්‍රගති මාවත ප්‍රදේශයේ රැකියා නියෝජිතායතනයක හිමිකරුවෙකු කළ දැනුම්දීමක් අනුව ගුවන්තොටුපොළ කරා ගිය අවස්ථාවේදී තමන්ගේ නමට වීසා නොමැති බව පවසමින් හරවා එවූ බවටත්, තමන් රැකියා නියෝජිත වෙත රුපියල් ලක්ෂ අටක 08ක මුදලක් ලබාදුන් බවටත් වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනවලදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.



තමන් සමග තවත් පුද්ගලයන් 06දෙනෙකු ගුවන්තොටුපොළ කරා ගියද ඔවුන්ටද විදේශගත වීමට නොහැකි වූ බවට එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විය.  මඳ වේලාවකදී තවත් පුද්ගලයන් 06 දෙනෙකු පොලීසිය වෙත පැමිණ තමන් කහතුඩුව රැකියා නියෝජිතායතනය වෙත රුපියල් ලක්ෂ 62ක මුදලක් ලබා දී විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත ගියද එම නියෝජිතයා තමන්ව ගුවන්තොටුපොළ තුළට පමණක් රැගෙන ගිය බවට සඳහන් කරමින් පැමිණිල්ලක් සිදුකර තිබිණි.

ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනවලදී එකී පැමිණිලිකාර පිරිස ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත අසර්බයිජානයට ගොස් ප්‍රංශයට යෑමේ සැලසුමක් අනාවරණය වූ බව පොලීසිය කියා සිටියි. ඒ අනුව එම හත්දෙනා අත්අඩංගුවට ගත් පොලීසිය විදේශගත කරන බව පවසා මුදල් වංචා කළ බව කියන රැකියා නියෝජිතායතන හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සියලු දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


බිමල් ශ්‍යාමන් ජයසිංහ