delkanda-police-incident

මාර්ග නීති උල්ලංඝනය  කරමින් සහ පොලිස් අණ නොතකා හයිවෙල් මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් පොලිස් නිලධාරීන් විසින් දෙල්කඳ මංසන්දියේ දී නවතා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූ අවස්ථාවේ එම මෝටර් රථයේ රියැදුරු ප්‍රභූ පුද්ගලයකු වශයෙන් හඳුන්වා දෙමින් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කරන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල සැරිසරමින් පවතියි.  ඔහු ප්‍රභූ පුද්ගලයකු වශයෙන් හඳුන්වා දෙමින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවට පවසා ඔහු පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදින අයුරු එම වීඩියෝවේ සඳහන් වේ.  පොලිස් නිලධාරීන් රියැදුරුගේ රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේ සැකකාර රියැදුරු සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ සංවාදය මෙසේය.



රියැදුරු- ඇයි ලයිසන් එක ගත්තේ ලියන්නද?

පොලිස් නිලධාරින් - ඔව් ඉර කැපීම සහ පොලිස් අණ නොතකා ධාවනය වීම සම්බන්ධයෙන් ලියනවා. අපි කරන්නේ රාජකාරිය

රියැදුරු - ඕක ලියලා මට ගෙදරට එවපං, 25000 නේ දඩේ.

පොලිස් නිලධාරින් - නැහැ. අපි මේක උසාවි දානවා.

රියැදුරු - මට උසාවි යන්න බැහැ බං, උඹලා දන්නැද්ද මම කවුද කියලා, උඹලා ඕක ලිව්වට වැඩක් නැහැ.

පොලිස් නිලධාරින් - අපිට කවුරු වුණත් කමක් නැහැ. අපි කරන්නේ නීතිය. අපිට තමුන් එක රියදුරෙක් විතරයි.

රියැදුරු - උඹලා හිතන්නේ මම කවුරු කියල ද? (පරුෂ වචන වැලකි)

පොලිස් නිලධාරීහු සිනා සෙති.

රියැදුරු - උඹලා නිකම් හිඟන පොලිස්කාරයෝ විතරයි. පොලිස් නිලධාරීහු යළිත් හයියෙන් සිනා සෙති.

රියැදුරු - උඹව දන්නේ ඕ.අයි.සී. විතරයි බං. මාව මුළු රටම දන්නවා, දන්නවාද මම කවුද කියලා. මම අමේෂ් රුවන්ත. උඹ නිකම් ගෙම්බෙක් විතරයි.


පොලිස් නිලධාරීහු යළිත් හයියෙන් සිනා සෙති.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිස් කළ විමසුමක දී එහි ප්‍රකාශකයකු පැවසුවේ පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී, පොලිස් රාජකාරියට බාධා කරමින් හැසිරුණ මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි. ප්‍රභූ පුද්ගලයකු වශයෙන් හැසිරුණු මෙම පුද්ගලයා ගාල්ල බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, ඔහු බිරිඳ සමග එක්ව මහරගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යමින් සිටින පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.



මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඉකුත් 5 වැනිදා බවත්, සිද්ධිය වී ඉක්ම ගියද මෙම පුද්ගලයා කියූ ආකාරයට ඔහු සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප්‍රභූ පුද්ගලයකුගෙන් පොලිසියට ඇමතුමක් නොලැබුණ බව ද පොලිස් ආරංචිමාර්ග පවසයි. මෙම පුද්ගලයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වන බව ද පොලිසිය පවසයි. මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වයි.

 ඉන්දිකා රාමනායක