thilini-priyamali-bank

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලිට දීර්ඝ කාලයක් කෝටි ගණනක මුදල් වංචා කිරීමට පහසුකම් සලසන ලදැයි කියන පෞද්ගලික බැංකු මූල්‍ය ආයතන සහ උකස් ආයතන කිහිපයක ඉහළ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.



ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයින්, නළු නිළියන් මෙන්ම භික්ෂුන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් තිළිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනින් ලබාදුන් මුදල් සහ රත්රන්, ඇය විසින් බැංකු මූල්‍ය ආයතනය උකස් ආයතන හරහා හුවමාරු කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.



එම ගනුදෙනු සිදු කිරීමට තිළිණි ප්‍රියමාලිට, එකී ආයතනවල ඉහළම නිලයන් දරන පිරිසක් ඉඩ පහසුකම් ලබා දී ඇති බවත් එම මුදල් ඇයට ලැබුණේ කුමන ආකාරයෙන්ද? යන්න ඔවුන් කිසිදු විමසීමක් කර නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

2022 ජනවාරි මාසයේ සිට ජූලි දක්වා තිළිණි ප්‍රියමාලි විවිධ පුද්ගලයින් රටවා ලබාගත් බව කියන රුපියල් මිලියන 3000කට අධික මුදලක් මෙකී ආයතන හරහා හුවමාරු කර තිබේ. එතරම් විශාල මුදලක් ලැබුණු ආකාරය ඇය ඒ තැම්පත් කළ බැංකු හා මූල්‍ය ආයතන ප්‍රධානීන් පිළිබඳව සැකකාරියගෙන් විමසීමක් නොකිරීම බරපතළ ගැටලුවක් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියකු සඳහන් කළේය.

සැකකාරිය සිය තිකෝ සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළ පිහිටි පෞද්ගලික බැංකු තුනක් සමග සෘජුවම මහා පරිමාණයෙන් ගනුදෙනු සිදු කර තිබෙන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකාරියගේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එම බැංකුවල ප්‍රධානීන් කිහිප දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරියේ දී කැඳවීමට නියමිතය.

(ඉෂාර රත්නකාර)