seeduwa-temple-murder

සීදුව වෑත්තෑව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ අභිරහස් ලෙස ඝාතනය කර තිබූ විහාරාධිපති හිමියන්ගේ ඝාතකයා තමා බව මේ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් එම විහාරයේ වැඩවිසූ 18 හැවිරිදි පොඩි නම පොලිසියේදී ප්‍රකාශ කර තිබේ.
විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන නැඩගමුවේ මහානාම හිමියන් සමග තමාට කලෙක පටන් ආරවුල් තිබුණ බවත් තමන්ට කිසිදු දෙයක අයිතිය ලබාදීමට නායක හිමියන් කටයුතු නොකළ බැවින් රණ්ඩු සරුවල් කළ බව පොඩි නම ප්‍රකාශ කර තිබේ.



55 හැවිරිදි මෙම විහාරාධිපති හිමියන් සතුව විශේෂ බාහිර සබඳතා මෙන්ම  ඒ ඇසුරින් උපයන මුදල් යහමින් පැවති බැවින් විවිධ අවස්ථාවල මුදල් ඉල්ලා සිටීමේදී තමන්ට කිසිදු මුදලක් ලබාදීමට නායක හිමියන් ලෝභවූ බවත් මේ නිසා රණ්ඩු වූ බවත් පොඩි නම පවසා ඇත.
මේ හේතුවෙන් පන්සලේ හිමියන් සතුව තිබුණ වාහන විකුණා මුදල් කිරීමට තමන් ඉටාගත් බවත් වාහනය අලෙවියට දැන්වීම් පළ කළබවත් කියන පොඩි නම ඒවා මිලට ගන්නට ආ අය සමග ලොකු හාමුදුරුවන් නැති අවස්ථාවල ගණන් කතා කළ බවත් කියා සිටියේය. කෙසේ වෙතත් වාහන විකුණා දැමීමට නම් වාහනයේ හිමිකාරත්වයේ සහතිකය (පොත) අවශ්‍ය වූ බැවින් එය සොයාගන්නට අවස්ථා කිහිපයකදීම උත්සාහ කරත් හමු නොවුන බවත් නායක හිමියන්ට පොත පෙන්වන්න කියා ඒවා උදුරා ගන්නට දවසක් උත්සාහ දරද්දී ඇතිවූ පොර බැදීම හේතුවෙන් ඝාතනය සිදුවූ බවත් පොඩි නම පාපොච්චාරණය කර තිබේ.

සිද්ධිය වූ 12 වනදා වාහනයේ පොත දෙන්න බැහැ යයි කියූ නායක හිමියන්ට පහරදුන් තමාටද ප්‍රතිප්‍රහාර වැදුණ බවත් එම අවස්ථාවේ තමා හිමියන්ගේ ගෙළ මිරිකා මරා දැමූ බවත් ඔහු පවසා ඇත. නායක හිමියන්ගේ අත්පා බැඳ දමා සොරුන් කළ ක්‍රියාවක් ලෙස මෙය ඒත්තු ගන්වන්නට පසුව උත්සාහ කර දොර වසා දැමූ බව පවසන ඝාතක හිමි මෙය සැලසුමකට සිද්ධ නොකළ බවත් සිරුර වෙනත් තැනක  සඟවන්නට බියක් ඇතිවූ බව පවසා තිබේ.


ඒ අනුව හිමිනමගේ සිරුර ආවාස ගෙයිහි තිබියදීම තමා නායක හිමියන්ගේ ලාච්චු අල්මාරි සියල්ල අවුස්සා වාහනයේ ලියවිලි සොයාගත් බවත් කියන පොඩි නම සිතූ තරම් විශාල මුදලක් පන්සලේ තිබී හමුවූයේ නැතැයිද පවසා තිබේ.
අනතුරුව නායක හිමියන් මරා දැමූ දිනයේම පන්සලේ නවතා තිබූ වැගන් ආර් රථය ගණං කථාකරන්නට ආ අය කැඳවා විකුණා දැමූ බවත්  ඩිෆෙන්ඩර් රථය ගන්නට ආ අයගෙන් අත්තිකාරම් ලබාගත් බවත් පවසා තිබේ.
ඩිෆෙන්ඩර් රථය රැගෙන යාමට හා ඉතිරි මුදල ලබාදීමට ඒ අය 14 වනදා දින යොදාගත් නිසා නායක හිමි ඝාතනය කර ටික දිනක් පන්සලේ රැඳී සිටීමට සිදුවූ බව පවසා ඇත.
 වෙළෙඳ පොළේ වත්මන් මිලට අඩුවෙන් ඒවා ලබාදුන් නිසා ඉක්මනින් විකුණාගන්නට හැකිවූ බවත් පවසා ඇති හිමි නම වාහන දෙකින්ම කෝටි 2 ක් කෑෂ් මුදල් සොයාගත් බව පවසා තිබේ.
අනතුරුව පන්සලේ තවත් දින දෙකක් රැඳී සිටි අතරවාරයේ විදේශයකට පළායාමට තමා සැලසුම් කළ බවත් ඩුබායි වෙත ඉක්මණින් යාමට අවශ්‍ය කටයුතු ලෑස්ති කළ බවත් පවසා ඇත.
මේ අතරවාරයේ 14 වනදා දහවල් අසල්වාසීන්ට දුගඳක් දැනී ඇතිවූ සැකසහිත වාතාවරණය මත තමා කලබලයට පත්වූ බව කියන හිමි නම ඩිෆෙන්ඩර රථය රැගෙන ඉක්මණින් පන්සලෙන් ගිය බව කියා සිටියේය. පසුව රථය අදාළ අය සිටි තැනකට ගෙනගොස් විකුණා තමාගේ පලායාම සිදුකළ බව පවසා තිබේ.



ඝාතනයෙන් පසු නායක හිමියන්ගේ දේහය මුහුණ සහ කට බැඳ දමා ආවාසගෙයි ඇදක් මත තිබියදී පොලිසිය සොයාගත් අතර ගෙළ සිරකර සිදුකරන ලද ඝාතනයක් බවට මුලසිටම සාක්ෂි ලැබී තිබුනි.
දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය අද සිදුකරන්නට නියමිතය.
මේ අතර ඩුබායි වෙත යාමට අවශ්‍ය සියලු ලියවිලි සමග අද (15) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පොඩි නම එහිදී අත්අඩංගුවට පත්වූයේ පොලිසිය ඊයේ සිට සිදු කළ මෙහෙයුම අනුව පළායන ඝාතකයා අල්ලන්ට නම් ලබාදී තිබූ නිසාය.
අත්අඩංගුවට පත් පොඩි නම පොලිසියට ගෙන ගොස් දීර්ඝ ප්‍රශ්න කිරීම් සිදුවේ. 

සිද්ධියට අදාළ පෙර විස්තර
සීදුව පන්සලේ නායක හිමි මරා පැනගිය පොඩි නම සොයා පරීක්ෂණ
නායක හිමි මරා ඩුබායි පනින්න හැදූ සීදුව පොඩි නම අත්අඩංගුවට