seeduwa-temple-murder

සීදුව වෑත්තෑව  ප්‍රදේශයේ නන්දාරාම නමැති විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ නැදගමුවේ මහානාම හිමියන්  (55) විහාරස්ථානය තුළ ඝාතනය කර තිබියදී සිරුර  ඊයේ (14) සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම විහාරස්ථානය දෙසින් දුගඳක් හමන බවට ඊයේ පස්වරුවේ සිදුව පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරික්ෂා කිරීමේදී ආවාස ගෙයි කාමරය තුළ ඇඳ මත සිවුරකින් මුහුණ හා මුඛය බැඳ දමා තිබූ මළ සිරුර සොයාගෙන තිබේ.
විහාරාධිපති හිමියන් සමග තවත් 18 හැවිරිදි හිමිනමක පමණක් මෙම පන්සලේ වැඩ වාසය කර ඇති අතර සිද්ධියට පෙර පොඩි නම වාහනද සමග අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.
විහාරස්ථානයේ තිබූ සුඛෝපභෝගී ඩිෆෙන්ඩර රථයක් හා තවත් වැගන්ආර් වර්ගයේ රථයක්  අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.


පොලිසිය අනුමාන කරන්නේ තරුණ හිමිනම ලොකු හාමුදුරුවන් මරා වස්තුවද රැගෙන පළායන්නට ඇති බවයි.
විහාරාධිපති හිමියන් සමග මෙම සැකකාර 18 හැවිරිදි හිමිනම වසර 8ක පමණ කාලක සිට මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන බව
අසල්වාසීන් පවසා තිබේ.
කෙසේවෙතත් මෙම පන්සල සමාජයෙන් දුරස්ථව හුදෙකලා ස්ථානයක් ලෙස පවත්වාගෙනගොස් ඇති අතර විහාරාධිපති හිමියන් අවට දායක පිරිස සමග අමනාපයෙන් පසුවන හෙයින් අවට දායකයන් මෙම විහාරස්ථානයට  නිතර නොපැමිණෙන බව ද වාර්තා වී තිබේ.

ඉකුත් 12 වැනිදා සවස මෙම විහාරාධිපති හිමියන්ගේ කෑ ගැසීමක් ඇසුණ බවට පොලිසියට සාක්ෂි සොයාගෙන ඇති නමුත් එම අවස්ථාවේ කිසිවකු ඒ ගැන සොයා බලා නැත්තේ අවට පිරිස් සමග පන්සලේ අය අමනාප නිසා බවටද තොරතුරු ලැබී ඇත.

කිසියම් පිරිසක් පෙරේදා පස්වරුවේ විහාරස්ථානට පැමිණ මෝටර් රථ දෙක පරික්ෂා කරනු අවට පිරිස් දැක ඇති බවට ද පොලිසියට ඇසින් දුටු සාක්ෂි ලබාගැනීමට හැකිව ඇත.



විහාරාධිපති හිමි සහ ගෝල හිමි අතර කලක පටන් ආරවුල් සිදුව තිබෙන බවත් දෙදෙනාගෙන්ම දෙදෙනාට එරෙහිව වරින් වර පැමිණිලි ලැබී තිබෙන බවත් විහාරස්ථානයේ දේපළ හේතුවෙන් මෙම ආරවුල් සිදුව තිබෙන බවත් අනාවරණය වී තිබේ.
හිමිනමගේ සිරුර නරක් වී තිබූ බවත් එය දින දෙකකට හෝ තුනකට පෙර සිදුවූ මරණයක් බවට සැකකරන බවත් පොලිසිය සඳහන් කරයි.
 මෙම ඝාතනය සඳුදා  පස්වරුවේ සිදුව ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි.  
කෙසේ වෙතත් හිමිනම ඝාතනයෙන් පසුවත් ගෝල හිමි නම පන්සලේ වැඩ සිට ඇත.
මෙම විහාරයේ ගෝල හිමිනම ඊයේ උදෑසන ද විහාරස්ථානයේ සිට ඇති නමුත් මරණය පිළිබද ප්‍රදේශයේ ප්‍රචාරය වීමත් සමග විහාරස්ථානයේ භාවිතයට තිබූ ඩිෆෙන්ඩර් රථයෙන් උන්වහන්සේ පැන ගොස් තිබෙන බවද අනාවරණය කරගෙන ඇත.

අපවත් වූ හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද 15 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.