laggala-girl-abused

ලග්ගල පොලිස් වසමේ පදිංවි බාල වයස්කාර පාසල් සිසුවියක වසරක පමණ කාලයක සිට වරින් වර දූෂණය කළේ යැයි කියන පස් දෙනකු සැකපිට පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි. මීට සම්බන්ධ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ පවත්වයි. මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා (ඔන්ලයින්) මවුපියන් විසින් මිලට ගෙන දෙන ලද නවීන පන්නයේ ජංගම දුරකථනයෙන් මෙම සිසුවිය අධ්‍යාපන කටයුතු කරන අතරවාරයේ අසැබි දසුන් නැරැඹීමද තදින්ම ඇබ්බැහි වී සිට ඇතැයි පරීක්ෂණවලින් තොරතුරු හෙළිවූ බව ලග්ගල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.



ඒවා නැරඹීමෙන් පසුව සිසුවිය අසල්වැසි විවාහක අය හා තරුණයන් සමග ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන ඇතැයි පොලිසිය කියයි. මෙසේ ප්‍රේම සබඳතා ඇති කරගත් තැනැත්තන් විසින් මෙම සිසුවිය ඇයගේ නිවසේ කිසිවකු නොමැති අවස්ථාවලදී සහ නිවසට යාබදව පිහිටි කැලෑවට රැගෙන ගොස් වරින් වර දූෂණය කර ඇති බවද පොලිසිය පවසයි. ජාතික ළමාරක්ෂක අධිකාරියේ උපකාරක සේවයට ලැබුණු තොරතුරක්  සම්බන්ධයෙන් ලග්ගල පොලිසියට දැනුම් දීමෙන් පසුව සිසුවිය පොලිසියට කැඳවා ප්‍රශ්න කර ඇත. එහිදී හෙළි වූ තොරතුරු මත ඇය පසුගිය  වසරේ සිට මේ දක්වා වරින් වර දූෂණය කළ බව කියන පස් දෙනකු සැකපිට. අත්අඩංගුවට ගත් බව එම පොලිස් නිලධාරියා කීය.



සිසුවිය දූෂණය කළ බව කියන තවත් දෙදෙනකු ගැන පවසා ඇතත් ඔවුන් කවුරුන්ද යන්න කීමට තමා නොදන්නා බවද ඇය පොලිසියට පවසා ඇතැයි කියති. ජංගම දුරකථනයෙන් අනවශ්‍ය දේ නරඹන බවට ඇතිවූ සැකයක් මත මෑතකදී එම දුරකථනය දියණියගෙන් ලබාගත් බව මවුපියන් පවසන්නේ යැයි පොලිසිය කියයි. දහතුන් හැවිරිදි සිසුවිය වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරීමට රෝහල්ගතකර ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා අවුරුදු 19, 23, 25, 28 සහ 26 වයස්වල පසුවන්නන් බවත් ඉන් තිදෙනකු විවාහකයන් බවත් පොලිසිය සඳහන් කරයි.
-ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය-