lankapura-murder

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියවූ යමුනා පද්මිණී (42) මහත්මිය ඝාතනය කළ බව පිළිගත් ඇගේ සැමියා වන කපිල බන්ඩාර (43) පොලිසිය සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ඝාතනය සිද්ධ කළ අයුරු තවදුරටත් විස්තර කර තිබේ.
මුලදී තමා නින්දේ සිටියදී නිවසට ආ උස හොරෙකු මෙම ඝාතනය කළ බවට ඔහු අසත්‍ය කට උත්තර ලබාදුන් නමුත් පරස්පර කතා නිසා ඇතිවූ සැකය මත පොලිසිය කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහුට සත්‍ය සිද්ධිය වසන් කිරීමට නොහැකි විය.


උපාධිධාරී පරිපාලන නිලධාරිනියකවූ යමුනා විවාහා වී සිටි කපිල බණ්ඩාර නම්වූ සැකකාර සැමියා ලංකාපුර කෑගලු ගම කනිෂ්ඨ විද්‍යාලයේ මුරකරුවෙකි. මුදල් පොලියට දෙන්නෙකි. බීමත්ව මුදල් නාස්ති කරගන්නා ඔහු බොහෝ විට යැපුනේ බිරිය උපයන මුදලින් බවද පැවසිණි.
මෙම ඝාතනයට මුල්වූ ආරවුල පසුපස සැමියා හා බිරිය අතර පවතින අධ්‍යාපන මට්ටමේ වෙනස හා ආර්ථික ඉපැයීම්හි අසමානකම් බලපෑම් කර තිබේ.
මෙම ඝාතනයට ආසන්න හේතුව වී ඇත්තේ ණය මුදලක් සම්බන්ධයෙන් දෙදෙනා අතර පැවැති ආරවුලකි. ඇය සතු මුදලක් සැමියා වෙනත්  පුද්ගලයකුට පොලී අපේක්ෂාවෙන් ණයට දී ඇති බවත් එම මුදල මෙන්ම පොලිය ද මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් බිරිය ඔහුට ප්‍රශ්න කරමින් වදදී ඇති බවත් සැමියා පොලිසියට පැවසුවේය. මෑතක සිට මේ ගැන කතා කරමින් දෙන්නාම ගැටුම් ඇති කරගෙන තිබෙන බවත් පොලීසිය කියයි.
 පෙරේදා (04) රාත්‍රීයේ ඔහුව පොලීසියට ගෙන්වාගෙන බිරියගේ මරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රකාශයක් සටහන් කර අනතුරුව ඔහුට නිදහසේ සිටීමට ඉඩ දී නැවත වරක් ඔහු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසුම්වලදී එකිනෙකට පරස්පර කථා කියා තිබූ අතර දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී බිරිය ඝාතනය වූයේ තමාගේ අතින් බව පිළිගෙන තිබේ.

ඝාතනය වූ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය නිවසේ ඉහළ මහලේ ඇති නිදන කාමරයේ ඇති එක් ඇඳක වැඩිමහල් දියණිය සමඟත් සැමියා බාල දියණිය සමඟ තවත් ඇඳකත් නිදා ගන්නා බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඇගේ ඝාතනය වූ දිනත් ඇය සිය වැඩිමහල් දියණිය සමඟ ඇඳේ නිදා සිට ඇති බවද පොලීසිය කියයි.
 ඝාතනයෙන් පසු අසල් වැසි නිවසට ද ඔහු ගොස් තිබුණේ වැඩි කලබලයකින් තොරව සාමාන්‍ය ලෙස ඇවිදගෙන වූ බැවින් ඒ ගැන ඔවුන්ටද සැකයක් ඇතිව තිබී ඇත.  සැකකාර සැමියා පොලිසියට කියුවේ ඝාතකයා සිය බිරියව මරා නිවසේ ප්‍රධාන දොරෙන්  දිව ගිය බවය. පාපැදි දම්වැලක් ඔතා ඉබියතුරු දමා තිබුණු නිවසේ ප්‍රධාන දොරේ අගුල් කඩා තිබී නැත. ඉබියතුරු නිවස ඇතුළතින් තිබී ඇති අතර අඩුම තරමින් ඉබියතුරු කැඩීමට ගත් උත්සහයක සළකුණක්වත්  තිබී නැත.ඝාතනය සිදුවූ නිවස තුළ කළ සියුම් විමර්ශනයේදී පවා පිටස්තර කිසිවකුගේ ඇගිලි සලකුණක් හෝ පා සලකුණක් හෝ වෙනත් කිසිදු සාක්ෂියක් හමුවී නැත.

 නිවාඩු දිනයක් වූ බැවින් ඉකුත් 03 වෙනිදා ඔහු පාසලේ මුරවැඩට ගියේ නැති අතර සුපුරුදු පරිදි එළියට ගියේ මධුවිත තොලගාන්නටය. රාත්‍රී 11.00ත් 12.00 අතර කාලයේදී නිවසට පැමිණ ඇත්තේ බීමත්වය. ඔහු සිද්ධිය පොලිසියට විස්තර කරන්නේ මෙසේය.
‘එදත් ගෑණි මගෙත් එක්ක රණ්ඩුවුනා. සල්ලි කේස් එකට. මට ටිකක් ඒකට තරහා ගියා. ගෑණි නිදාගත්තම පොරොව අරගෙන ඔලුවට කෙටුවා. හැමදාම මේ කරදරේ ඉවසන්න බැහැනේ. එක පාරයි ගැහුවේ. එතැනම ඉවරවෙන්න. පස්සේ පොරව අරගෙන ගිහින් අල්ලපු වත්තේ මාන ගාලකට විසිකළා. ලේ ගෑවිච්ච ඇඳුම් හෝදල දාල තමයි හොරෙක් පැන්න විදිහට ළඟ ගේකට ගිහින් කිව්වේ.‘

ඝාතනය කිරීමට යොදාගත් පොරොව අසළ ඉඩමක මාන ගාලක් අස්සේ සඟවා තිබී පොලීසිය සොයා ගත්තේය.
පොලොන්නරුව හා ලංකාපුර පොලිස්  නිලධාරීන් කණ්ඩායමක් මෙම විමර්ශනය කර තිබුණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිසිය නොමග යවමින් ඔහු බොරු කියූ හැටි වීඩියෝව පහතින්



සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා