lankapura-murder

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඊයේ (4) අලුයම 2.30ට පමණ ඇයගේ නිවසේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ.


ඝාතනයට ලක් වූ එම්.එල්. යමුනා මහත්මියගේ සැමියා සිද්ධිය විස්තර කරමින් මෙසේ කීය.


මම දෙකයි විස්සට විතර නැගිටලා නාන කාමරයට ගියා, නැවත ඇවිත් නෝනගේ නෙට්  එක ඇතුළේ ඉන්න මදුරුවො එළවලා, මගේ නෙට් එකේ ඉන්න මදුරුවොත් එළවලා මම නිදා ගත්තා. ඒ වෙලාවේ දෙකයි විස්සට විතර ඇති.  මට නිදා ගත්ත හැටියෙම නින්ද ගියේ නෑ. සද්දෙ එනකොට මට එක පාරම ඇහැරුණා, එතකොට කරුවලයි, එවෙලේ ලයිට් ඕෆ් කරලා තිබුණේ.

එතකොට දොරෙන් කළුපාට උස මනුස්සයෙක් මා ළඟට ආවා, පස්සේ මට කුණුහරුපයකුත් කියාගෙන බැස්සා ඔහුට ගහන්න, ඒත් එක්කම අතේ තිබුණ පොල්ලක් හරි, මිටියක් හරි, පිහියක් හරි, මොකද්ද කියලා මට තේරෙන්නෙ නෑ. ඒකෙන් මට කෙටුවෙ, මට කොටන කොටම නෝනා එක පැත්තක නිදාගෙන හිටියා. කොටන කොටම නෝනට තමයි වැදුණේ. මම ඔහු පස්සේ පැන්නුවා. පන්නාගෙන යනකොට මගේ ගේ ඇතුළේ මට වඩා හොඳට ඔහු දුවගෙන ගියා, ඒ වෙලාවේ ගෙදර ලයිට් නිවලා තිබුණේ ඒත් එක්කම ඔහු පැනලා ගියා.
ගැහුව පාර මට වැදුණේ නෑ, මට වැදෙනවා නං කොන්දට තමා වදින්න තිබුණේ, නෝනට තමයි වැදුණේ, ලොකු දුව කෑගැහුවා අප්පච්චි කියලා. එතකොට මම එලියේ ඔහු පස්සේ දුවගෙන යනව, මම හිතුවා තව කවුරුහරි ගේ ඇතුළෙ  ඉන්නවා කියලා. මම ආපහු ගෙට දුවගෙන ගියා.  ඒ නිසා ගලකින්වත් ගහ ගන්න පුළුවන් කමක් තිබුණේ නෑ.



ඔහු හෙල්මටයක් වගේ දාගෙන හිටිය, ඒක තමයි ටක් ගාලා මට ශබ්දයක් ඇහුණේ, පස්සේ මගේ දරුවො දෙන්නා වඩාගෙන ඉස්සරහ ගෙදර මාමලාට කෑ ගැහුවා, කඩුවක්, මන්න, පිහියක්, එහෙම අරන් ඇවිල්ලා අපි බැලුවා, ඔහු ඉන්නවද කියලා හිටියේ නෑ. මම .අයි.සී. මහත්තයට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ 1990ට කතා කළා. හොස්පිටල් එකට අරන් ගිහිල්ලා පැයකට පස්සේ තමයි මගේ නෝනා නැති වුණේ, මම හැමෝටම වචනෙකින් හරි උදව් කළ මනුස්සයෙක්, කවුරුවත් තරහකාරයො හිටියේ නෑ. නෝනව රෝහලට අරන් යන්න විනාඩි තිහක් පමණ පරක්කු වුණා, මැදිරිගිරියේ ඉඳලා තමයි 1990 ආවේ.  විනාඩි විස්සක් විතර ඒකට ගත වුණා යැයි ද ඔහු කීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, තල්පොත පොලොන්නරුව ලිපිනයේ පදිංචිව සිටි 42  හැවිරිදි දෙදරු මවක වන එම්.එල්. යමුනා පත්මිණි නමැත්තිය බව පරික්ෂණ සිදුකරන පොලිසිය පවසයි. යමුනා මහත්මිය ඝාතනයට ලක් වෙද්දී ඇයගේ සැමියා සහ දරුවන් දෙදෙනාද නිවසේ සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.  ඇය කවුරුන් විසින් ඝාතනය කරන්නට ඇත්ද, කුමන හේතුවක් මත ඝාතනය කළාද යන්න, මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ලංකාපුර පොලිසිය කියයි.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි ලංකාපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක  පී.පී.කේ. පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.