lanka-pura-murder-revealed

ඊයේ අළුයම නිවසේ නිදන කාමරයේදී ඝාතනයට ලක්වූ පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ පරිපාලන නිලධාරිනියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු තමා බිරිය මැරූ බවට පාපොච්චාරණය කර තිබේ.

ඝාතනය සිදුවූ පසු මුලින් මොහු පොලිසියට බොරු ගොතා කියා සිටියේ කළු උස පුද්ගලයෙකු පැමිණ තමන් මරන්නට ආයුධයකින් කොටද්දී බිරියට වැදී ඇය මියගිය බවකි.නමුත් එය ප්‍රබන්ධ කතාවක් බව ඔහු පසුව පිළිගෙන තිබේ.
තමාගේ බීමත්කම සම්බන්ධයෙන් හා තමන් නිතර ණය වල පැටලී සිටීම සම්බන්ධයෙන් බිරිය පසුගිය කාලය පුරා නිවසේ රණ්ඩු කළ බවත් සිද්ධිය වූ දිනයේ සවස සිට ඇය හා දබර කරගත් බවත් රාත්‍රී ඇතිවූ කෝපය මත මෙම ඝාතනය සිදු කළ බවත් පොරවකින් කොටා ඝාතනය සිදු කර පසුව පොරව අල්ලපු වත්තට විසි කළ බවත් සැමියා පාපොච්චාරණය කර තිබේ.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී එම්.එල් යමුනා පද්මිණී මහත්මිය තල්පොත ප්‍රදේශයේ පිහිටි නිවසේදී පෙරේදා අලුයම 2.30 ට පමණ තියූණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනය කර තිබුණි. මියයන විට ඇය 42 හැවිරිදි වියේ පසුවූ අතර මෙම දෙන්නාට 11 හැවිරිදි හා 4 හැවිරිදි ගැහැනු දරුවන්  දෙදෙනෙකු සිට ඇත.
නිවසට සොරුන් පැන ඇයට පහරදි ඝාතනය කළ ආකාරයට සැකකාර සැමියා පොලිසියට මුලින් පවසා තිබූ අතර ඒ ගැන මාධ්‍ය වාර්තාවන්ද අද පළවී තිබුණි.

නමුත් ඔහු කරන විස්තර සැක සහිත බවට පාඨකයින් පවා අදහස් පළ කර තිබූ අතර පොලිසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඇත්ත තත්වය හෙළි විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සිය බිරිඳ ඝාතනය කළ බවට සැකකාර ස්වාමි පුරුෂයා පිළිගෙන ඇති බවත් නිවසේ ඇඳක් මත නිදාගෙන සිටියදී හිසට පොරවකින් පහරදී ඝාතනය කර ඇති බවත්ය.
ඝාතනය සිදුවන අවස්ථාවේදී ගැහැනු දරුවන් දෙදෙනා ද ආසන්න කාමරයේ සිට ඇතැයි පොලිසිය පැවසී ය.ඝාතක සැමියා විසි කළ රුධිරය තැවරුණ පොරව අල්ලපු වත්තෙන් සොයාගෙන ඇත.
සැක පිට අත්අඩංගුවට ගත් සැමියා කපිල බන්ඩාර නමැති 43 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ලංකාපුර කෑගලුගම කනිෂ්ඨ විද්‍යාලයේ මුරකරුවෙකු සේවය කරන්නෙකි. මියගිය යමුනා සමග පෙම් සබඳතාවකින් ඔවුන් විවාහවී ඇති අතර ඇය උපාධිධාරිනියක මෙන්ම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියද වූවාය.

අලුත තැනූ දෙමහල් නිවස ඉඩම ඇතුළු දේපළද මියගිය කාන්තාවගේ බව අනාවරණය විය.
ඝාතන සිදුවීමෙන් පසු මියගිය කාන්තාවගේ ඥාතීන් පොලිසියට දන්වා සිටියේ දරුවන්ට දේපළ උරුම විය යුතු බවත් සැකකාර සැමියාට කිසිවක් හිමි නොවන තැනට වැඩ සිද්ධ කළ යුතු බවත්ය. පොලිසිය ඔවුන්ට පවසා සිටියේ ඒ ගැන අධිකරණයේදී ඉදිරියේදි බලාගනු ඇති බවත් ඒ දක්වා 11 හැවිරිදි හා 4 හැවිරිදි දැරියන් මානසිකව වැටෙන්නට නොදී රැක බලාගන්නා ලෙසත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිසිය නොමග යවමින් ඔහු බොරු කියූ හැටි වීඩියෝව පහතින්



සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
නිවසට කළුවරේ ආ උස පුද්ගලයා සැමියාට ගැසූ පහර වැරදී ප්‍රා.ලේ. නිලධාරිනී බිරිය මරුට