gas-oman-muditha-peris

තායිලන්තයෙන් ගෑස් අඩුමිලට ගෙන්වීමට හැකියාව තිබුණත් මිල වැඩි ඕමානේ කොන්ත්‍රාත්තුව සමග එකඟවූ බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.



ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමකට ලබාදීමට තීරණය කරන ලද්දේ මෙම කොන්ත්‍රාත්තුව සඳහා තායිලන්ත සමාගමක් ඇමරිකානු ඩොලර් 112 බැගින් මිල ඉදිරිපත් කර තිබූ පසුබිමකදීය. ඕමාන් සමාගම ඩොලර් 129 බැගින් මිල ඉදිරිපත් කර තිබිණි. ඕමාන් සමාගමේ මිල ගණන් ඩොලර් 17 ක් වැඩි නමුත් ඔවුන්ගෙන් ගෑස් මිලදී ගැනීම ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව පීරිස් මහතා පවසයි. ඔහු කියන්නේ
තායිලන්ත සමාගම මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ මෙට්‍රික් ටොන් 6000 කට පමණක් බවත් ඕමාන් සමාගම මාස හතරක් තුළ මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබාදීම සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබූ බවත් ඒ නිසා තේරීම සිදු කළ බවත්ය.
මෙය දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් බැවින් ඕමාන් සමාගම තෝරා ගැනීමට තීරණය කළ බව සභාපතිවරයා සඳහන් කරන අතර වැඩිවන මිල පාරිභෝගිකයින්ගෙන් අයකරගන්නට අපේක්ෂා කරන බවද දන්වා ඇත.


තායිලන්ත සියාම් සමාගමෙන් ගෑස් මිලදී ගතහොත් ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රුපියල් 5000 කට පමණ පාරිභෝගිකයාට ලබාදිය හැකි අතර ඕමාන් ගෑස් සමාගමෙන් ගෙන්වූ සිලින්ඩරයක් රුපියල් 7000 ක් පමණ විය හැකි බවද ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් සහ කැබිනට් අනුමැතිය හිමි වූ තායිලන්ත සියාමි සමාගමෙන් ගෑස් මිලදී ගැනීම අත්හිටුවා මීට පෙර සැපයුම්කරු වූ ඕමාන් සමාගමෙන් ගෑස් මිලදී ගැනීම ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යෑමේ අවදානමක් මතුකරන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගද පවසා තිබුණි.
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරුන් වන තෙෂාර ජයසිංහ හා විජිත හේරත්ට ඉවත් වීමට සිදු වූයේද මෙම සිද්ධිය හේතුවෙන් බව ආරංචි මාර්ගවලින් වාර්තා විය.