nikaweratiya-incident

නිකවැරටිය, පන්සියගම පොලිස් වසමට අයත් නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කළ උඩුගම පද්මවංශ හිමියන් බඳින තුවක්කුවක් පත්තු වී අපවත්වී තිබේ. මේ සිද්ධිය සම්බන්ධව එම තුවක්කුව ඇටවූ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මහව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා හමුවට ඊයේ (15) ඉදිරිපත් කරනු ලදුව, මෙම මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියෝග කෙරීණි.   මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුවේ පන්සියගම පොලිස් වසමට අයත් අශුද්ගමුව ප්‍රදේශයේ පදිංචි ආර්.ඩී. උපාලි ශාන්ත කුමාර නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ පන්සියගම පොලිසියේ සැරයන් ගුණරත්න මහතා විසිනි.

බඳින තුවක්කුව අටවා සතුන් දඩයම් කර මස් විකිණීම සහ කසිප්පු විකිණීම ද මෙම සැකකරු කාලයක් තිස්සේ සිට සිදු කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා විසින් එම රෝහලේ දී උඩුගම පද්මවංශ හිමියන්ගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.

පාදවලට වෙඩි වැදී අධික ලෙස රුධිරය වහනය වීමෙන් ඇතිවූ කම්පනයෙන් මෙම හිමියන් අපවත් වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබෙන බව පන්සියගම පොලිසියේ නිලධාරියෙක්  පැවසීය. අපවත්වී වදාළ උඩුගම පද්මවංශ හිමියන් තව  සති දෙකකින් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා කෙටි කාලයකට තායිලන්තයට වැඩම කිරීමට සියල්ල සූදානම් කරගෙන සිටි බව ආරණ්‍ය සෙනාසනයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් පැවසූ බව ද පොලිසිය කියයි.

-ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරීය-