dengue-message

ඩෙංගු අධි වසංගත තත්ත්වයකට එළඹෙමින් තියෙන බවද, හැකි ඉක්මණට එය ආපස්සට හැරවීම සඳහා සැමගේ දායකත්වය අවැසි බවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ, අද (09) රජය් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී “අපේ යුතුකම ඉටුකරමු..ඩෙංගු මර්දනය කරමු ..” යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අඳහස් දක්වමිනි.

මදුරුවෙකු මගින් බෝ වන වෛරස් රෝග අතරින් ඩෙංගු රෝගය අපේ රට තුළ වැදගත්ම රෝගය බවද, කොවිඩ් හැරුණු විට මේ අවස්ථාවේ අපට වැදගත්ම බෝ වන රෝගය වන්නේ ඩෙංගු බවද කියා සිටි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද උදෑසන 07 වන විට අපේ රට තුළින් ඩෙංගු යැයි සැක කරන රෝගීන් 26,622ක් අපට වාර්තා වී ඇති බව සදහන් කළේය.

එයින් 2416ක්ම ජූනි මාසයේ පසුගිය දින 08 තුළ වාර්තා වී ඇතැයිද, මැයි මාසයේ 6483ක් වාර්තා වී ඇතැයිද පැවසුවේය.

මෙම රෝගීන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවද ජුනි මාසේ වාර්තා වුණු රෝගීන් 2416න් 728ක් කොළඹ දිස්තික්කයෙන්ද, ගම්පහෙන් 354ක්ද, කලුතරින් 233ක්ද වාර්තා වී ඇතැයි සිහිපත් කළ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා එලෙස ජූනි මාසයේ වාර්තා වුණු ප්‍රමාණය සම්පූර්ණ රෝගීන් ගණනෙන් 54.4%ක් බවද අවධාරණය කළේය.

මෙලෙස හරි අඩකටත් වඩා රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව සදහන් කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මහනුවර දිස්තික්කයෙන් රෝගීන් 186ක්, ගාල්ලදිස්ත්‍රික්කයෙන් 148ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 119ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 104ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 76ක් වශයෙන් වාර්තා වන බවද පැවසුවේය.

මෙම දිස්ත්‍රික්ක 08 තුළින් වාර්තා වුණු සම්පූර්ණ රෝගීන් ප්‍රමාණය අපේ රට තුළින් ජූනි මාසයේ වාර්තා වුණු රෝගීන්ගෙන් 80.6%ක් වන බවද, වැඩිම අවධානමක් සහ වැඩිම බරක් ඇත්තේ මෙම දිස්ත්‍රික්ක 08 තුළ බවද ඔහු පැවසුවේය.

පසුගිය සතිය තුළ වාර්තා වුණු රෝගීන් විශ්ලේෂණය කර බැලීමේදී අධි අවධානම් තත්ත්වයේ පසුවේ යැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 82ක් හදුනාගත් බවද, පසුගිය කාලය තුළ සීඝ්‍ර ප්‍රවණතාවයකින් එනම් ඉතාම වේගයෙන් සතියෙන් සතිය වැඩිවෙමින් රෝගීන් වාර්තා වුණු බවද සදහන් කළේය.

එළඹෙන සති වලදී මෙය තව තවත් වැඩිවී සීඝ්‍ර වැඩිවීමක් වනු ඇතැයි බලාපොරොත්තු වන බැවින් ඩෙංගු මර්දනයට හැමෝගේම දායකත්වය අවශ්‍ය වන බවද කියා සිටියේය.

මෙම රෝගීන් 26,622න් රෝගීන් 25 දෙනෙකු කණගාටුදායක ලෙස ඩෙංගු රෝගය නිසා හෝ සංකූලතා නිසා වෙනත් රෝගී තත්ත්වයන් උත්සන්න වීමෙන් මියගොස් ඇතැයිද, එයින් අවුරුදු 05ත් 20ත් අතර රෝගීන් 08ක් මියගොස් ඇතැයිද එනම් එම ප්‍රමාණයෙන් පාසල් යන වයසේ දරුවන් 32%ක් මියගාස් ඇතැයිද, රැකියා කරන පවුලේ බර කරට ගන්නා වයසේ සිටින අවුරුදු 20ත් 55ත් අතර පුද්ගලයන් 12ක් මියගොස් ඇතැයිද අවුරුදු 05ට අඩු දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බවද කියා සිටියේය.

නිසි වේලාවට ප්‍රතිකාර වලට යොමු වූයේ නම් මෙම සෑම මරණයක්ම වළක්වාගත හැකිව තිබුණු මරණ බවද ඔහු සදහන් කළේය.

ප්‍රධාන වශයෙන්ම රෝගය වළක්වාගත යුතු සේම උණ රෝගයක් පැමිණියහොත් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ වැදගත්කම පිළිබදවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙමින් අදහස් දැක්වූ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා සදහන් කළේ සෑම වසරකම වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් ප්‍රතිශතාත්මකව වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එයට හේතු කිහිපයක් බලපාන බවයි.

බස්නාහිර පළාතේ ජනගහණය ලක්ෂ 62ක් පමණ වන අතර භූමි ප්‍රදේශය අතින් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 10%කටත් අඩු භූමි ප්‍රදේශයක් බස්නාහිර පළාතෙන් ආවරණය වුවද ශ්‍රී ලංකාවේ ජනගහණය අතින් 28%ක ප්‍රමාණයක් මෙහි වෙසෙන බවද වෛද්‍යවරයා කියා සිටියේය.

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තිය අධික වීමට එක් හේතුවක් වශයෙන් වර්ග කිලෝ මීටරයක් තුළ වෙසෙනා අධික ජනගණත්වයද දැක්විය හැකි බව සදහන් කළ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා බස්නාහිර පළාතේ ජනගහනයෙන් හතරෙන් එකක් සංක්‍රමණය වූ ජනගහණයක් බැවින් එම පළාතේ කිසියම් රෝගයක් ව්‍යාප්ත වුවහොත් එය රට තුළටම පැතිරීමේ අවධානමක් ඇතැයිද සඳහන් කළේය.

මෙම වසර තුළ බස්නාහිර පළාතේ ඩෙංග රෝගීන් වාර්තා වීමේ විශේෂත්වයක් දක්නා බව සදහන් කළ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා 2021 වසරේ මැයි මාසයේ බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 898ක් වාර්තා වුණු බවද, නමුත් මෙම වසරේ මැයි වල මෙම අගය 3043ක් ගෙන ඇතැයිද එය පසුගිය වසර හා සැසදීමේදී තුන් ගුණයකටත් වැඩි ඉහළ යෑමක් බවද සදහන් කළේය.



පසුගිය වසරේ මුළු ජූනි මාසෙම බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 1918ක් වාර්තා වුණු බවද, මේ වසරේ ජූනි මාසේ මුල් දින 08න් පමණක් බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 1300කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ද සිහිපත් කළේය.
බස්නාහිර පළාතේ සෞඛ්‍ය අංශ, අරක්ෂක අංශ සහ පළාත සභා එක්වී ඩෙංගු මර්දනය සදහා විශාල වැඩ කොටසක් සිදුවන බව කියා සිටි විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා මහජනතාව විසින් නිවෙස් ආශිතව ද විශාල වැඩ කොටසක් ඩෙංගු රෝග මර්දනය සදහා කළ හැකි බව සිහිපත් කළේය.

බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන සතියක් එළඹෙන ජූනි 15 සිට 21 දක්වා සංවිධානය කර ඇතැයිද, එහිදී සාමාන්‍ය කටයුතු වලට අමතරව විශේෂිත කටයුතු කිහිපයක් සිදුවෙන බවද, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලින් ඒ සදහා වැඩි ආවරණයක් ලබාදෙනු ඇතැයිද සදහන් කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිල හෙට්ටි මහත්මිය සහ ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද සහභාගී වූහ.