dental-health

ශ්‍රී ලංකාවේ ජනගහනය අතර දන්ත සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු වන්නේ ඉතාමත් අල්ප වශයෙනි. එහෙත් පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා හැම කෙනකුගේම දත් හා දත් ආශ්‍රිත රෝග බහුලව දක්නට ලැබේ. අප රටේ පාසල්වල සිට සෑම ප්‍රධාන රෝහලකම වාගේ දන්ත සායන පැවතුණත් අපගේ ජනගහනයේ දත් රෝග අඩුවීමක් දක්නට නොලැබේ. දන්ත රෝග අයත් වන්නේ වළක්වා ගත හැකි රෝග ගණයටය.  අප විසින් අපගේ දත් හා මුඛය ආශ්‍රිත අනෙකුත් සියුම් පටල කෙරෙහි නිසි අවධානය යොමු කරන්නේ නම් දත් ආශ්‍රිත බොහෝ රෝග වළක්වාගත හැකිය.  වෛද්‍ය විද්‍යාවේ සඳහන් ස්වර්ණමය ක්‍රියාදාමය නම් රෝග වළක්වා ගැනීම, රෝගවලට ප්‍රතිකාර කිරීමට වඩා අතිශයින් වැදගත් බවයි.




මෙම ස්වර්ණමය කියමන දන්ත රෝග කෙරෙහි විශේෂයෙන් වැදගත් වේ. අප අතර දක්නට ලැබෙන ප්‍රධාන දන්ත රෝග අතර දත් කැක්කුම, දත් පණුවන් කෑම නොහොත් දන්ත කුහර ඇතිවීම, දත් ඉදිරියට නෙරා ඒම හා විෂමව පිහිටීම, දත්වල දුර්වර්ණය. මුඛය ගඳ ගැසීම, විදුරුමස් ඉදිමීම, විදුරුමස්වලින් ලේ ගැලීම්, මුඛයේ හා දිවේ තුවාල ඇතිවීම, මුඛයේ ඇතුළු පැත්තේ ලප  ඇතිවීම, උල්ලෝගම් හෙවත් දිවේ සහ මුඛයේ ඇති වන දිලීර  ආසාදන ප්‍රධාන තැනක් ගනී. දත් හා මුඛය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මකව ගැළපෙන හොඳ පුරුදු විශේෂයෙන්ම දරුවන්ට පුරුදු කිරීම අතිශයින් වැදගත්  තීරණයකි. එමෙන්ම මුඛය හා දන්ත සෞඛ්‍යය පිළිබඳව වැඩිහිටියන් අතර ඇති වැරදි මත හා සිරිත් විරිත් පිළිබඳව සාකච්ඡා කිරීමද අතිශයින් වැදගත් වේ.


මිනිසාට සිය ජීවිත කාලසීමාව තුළ දත් දෙවරය හිමි වේ. දරුවකු ලොවට බිහි වූ පසු පළමු දත් හෙවත් කිරි දත් ඇති වන්නේ වයස මාස 6 සිට වසර 2 දක්වා කාලසීමාව තුළය. පුංචි දරුවන්ගේ කිරි දත්, රැකබලා ගැනීම හා ආරක්ෂා කිරීම මවගෙන් සිදු විය යුතු එක් ප්‍රධාන කාර්යයකි. බොහෝ මවුවරුන් තම කිරි කැටි දරුවාගේ කිරි දත් පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකරන්නේ එලෙස අවධානය යොමු කිරීම පිළිබඳව ඇති වැදගත්කම ගැන නොදන්නා නිසාවෙනි. මාස 06කින් පසුව දරුවාට ලැබෙන කිරි දත් මැදීම හා පිරිසිදු කිරිම මව විසින් අනිවාර්යෙන්ම කළ යුත්තකි.

එහෙත් එය වැඩිහිටියන්ගේ මෙන් දත් බුරුසුවකින් හා දන්තාලේප යොදා ගනිමින් සිදු කළ නොහැකිය. පළමු වසර තුළ තම ඇඟිල්ලක දවටා ගත් පුලුන් කැබැල්ලක ආධාරයෙන් පුංචි දරුවාගේ දත් මැදීම හෙවත් පිරිසිදු කිරිම මවට කළ හැකිය. එලෙස පිරිසිදු කිරීමේදී දරුවාගේ වයස අවුරුදු දෙක හමාරක් වන තුරු දන්තාලේපයක් පාවිච්චි කිරීම යෝග්‍ය නොවේ. එයට ප්‍රධානම හේතුව නම් දරුවාගේ නොදැනුවත්කම නිසා දත් පිරිසිදු කිරීමේ කාරක හෙවත් දන්තාලේප ගිල දැමීමට දරුවා පෙළඹෙන නිසාය.



එම නිසා පළමු වසර තුළ ඉතා සියුම්  සාන්ද්‍රණයකින් සාදා ගත් ලුණු දියරය ඇඟිල්ලෙ ආවරණය යාම ගත් කුඩා පුලුන් කැබැල්ලකින් පොගවා දරුවාගේ දත් පිරිසිදු කිරීම යෝග්‍ය වේ. දත් මෙන්ම කිරි බොන දරුවන්ගේ දිව මැදීම ද ඉතාම වැදගත්ය. දිව නිසි ලෙස පිරිසිදුව තබා නොගැනීම නිසා ඇති වන කැනිඩා දිලීරය නිසා ඇති වන ආසාදනයක් වූ කැන්ඩිඩයිසිස්   හෙවත් උල්ලෝගම් දිලීර ආසාදනය ඇති විය හැකිය. කිරි දෙන දරුවන්ට කිරි දීමෙන් පසුව ජලය ස්වල්පයක් පෙවීම දරුවාගේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට ඉවහල් වේ. වසර දෙක හමාරකින් පසුව දරුවාගේ දත් පිරිසිදු කිරීමේදී ආරක්ෂිත දන්තාලේපයක් භාවිත කළ හැකිය. වයස අවුරුදු තුනහමාර වන විට සිය දත් හා මුඛය තමන් විසින්ම පිරිසිදු කරවා ගැනීම දරුවාට පුරුදු පුහුණු කළ හැකිය.

දරුවාගේ වයස අවුරුදු 07 වන විට කිරි දත් වැටී ස්ථිර දත් ඇති වේ.

පුංචි දරුවන්ගේ විදුරුමස් ආසාදන දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. එහෙත් දරුවාගේ මුඛයට හරි ඇති අවධානය යොමු නො වූ විට දරුවන්ගේද විදුරුමස් ආසාදන විදුරුමස්වලින් ලේ ගැලීමේ ප්‍රධාන හේතූන් අතර විදුරුමස් ආසාදනය ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව රුධිරයේ පට්ටිකාවල විවිධ වෛරස් රෝග නිසා ඇති වන විෂමතා හා ව්‍යාකූලතා නිසාද රුධිරය කැටි ගැසීමේ යාන්ත්‍රණයේ ඇති වන ඌනතාවන් විහිදා දක්වන හිමෝෆීලියා වැනි රෝග නිසාද විදුරුමස්වලින් ලේ ගැලීම ඇති විය හැකිය.

දත් දුවණවීම සිදු වන්නේ බොහෝ විට පානය කරන ජලයේ ෆ්ලොරයිඩ් සාන්ද්‍රණය අධික වීම නිසාය. ශ්‍රී ලංකාවේ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල වාසය කරන දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද එම ප්‍රදේශයේ ඇති ජලයේ අධික ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය නිසා දත් දුර්වර්ණ වීම සිදු වේ.
-දොස්තර  ජයලත් ජයවර්ධන