උද්ගතව ඇති කෝවිඩ් තත්වයත් සමග රෝගී තත්වයන් සමනය කර ගැනීමට  රෝග ලක්‍ෂණ සඳහා ඖෂධ ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහනතාවගෙන් ඉල්ලා සිටියි.



ඒ අනුව මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින් කොළඹ වෛද්‍ය පීඨයේ පවුල් වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී, වෛද්‍ය රුවෙයිෆ් හනිෆා මහතා පෙන්වා දුන්නේ, රෝග ලක්‍ෂණවලට ඖෂධ ලබා ගැනීමේදී විවිධ වර්ගයේ ඖෂධ භාවිත කිරීමට සිදුවන බවයි.

ඒ අනුව එලෙස විවිධ ඖෂධ වර්ග භාවිත කිරීම තුළ කෝවිඩ් තත්වයට පරිබාහිරව විවිධ සංකුලතා ඇති වී අනවශ්‍ය තත්ත්ව හට ගැනීමට ඉහළ අවදානමක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.මේ අතර ප්‍රතිජීවක ඖෂධ භාවිතය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයද ඊයේ (24දා) මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ අතර එහිදී එම කාර්යාංශය විසින් මාධ්‍යයට නිකුත් කළ සටහනක් පහතින් වේ.

"කෝවිඩ්-19 කියන්නේ වෛරසයකින් ඇති වන රෝගී තත්වයක්.

ඒ වගේම පහුගිය කාලය තුළ දක්නට ලැබුණු SARS, ඉබෝලා, කුරුලු උණ වැනි රෝග තත්ව පවා වෛරසවලින් ඇති වන ඒවා. ලෝක ඉතිහාසයේ අවුරුදු සීයකට එපිට කාලයක් තුළ මහා ව්‍යසනයන් ඇති කළ ඇතැම් බැක්ටීරියාවන් අද බොහෝ දුරට පාලනය වී පවතින්නේ, අපි හැමෝම හොඳින් අඳුනන ප්‍රතිජීවක ඖෂධ, එහෙම නැත්නම් ඇන්ටිබයොටික් නිසාවෙන්.එහෙත් වර්තමානය වනවිට මේ ඇතැම් බැක්ටීරියාවන් ඒවා පාලනය කිරීමට යොදා ගැනුන ප්‍රතිජීවක ඔෂධවලට ප්‍රතිරෝධයක් ගොඩනගා ගනිමින් පවතින බව පෙනී යනවා.මෙය අතිභයංකර වසංගතයක පෙර නිමිත්තක් විය හැකි බව කියවෙනවා.මේ උවදුරට පිළියම් සෙවීමට නම්, මේ තරම් ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධී (ඔරොත්තු දෙන) රෝගකාරක අප අතරට එන්නට හේතුව කුමක් දැයි අප මුලින්ම සොයා බැලිය යුතු වෙනවා.

අපි භාවිත කරන ප්‍රතිජීවක ඖෂධ හමුවේ රෝගකාරක විෂබීජ එක්වරම පරාජය භාර ගන්නේ නැහැ. ඔවුන් නැවත ප්‍රතිජීවක ඖෂධ සමග සටන් කරනවා. ප්‍රතිජීවක මගින් අඩපණ කෙරෙන ජීව ක්‍රියාවලි සඳහා වෙනත් විකල්ප ක්‍රම භාවිතය, ප්‍රතිජීවක ඔෂධය හානි කිරීමට පෙර බිඳ හෙළීම, සෛල තුළට ඇතුළු වීමට නොහැකි පරිදි බාධක නිර්මාණය කිරීම, ප්‍රතිජීවක ඉලක්කය ලබාගත නොහැකි පරිදි එය වෙනස් කිරීම සහ හැකි ඉක්මනින් ආක්‍රමණික සෛලයෙන් පිටතට පොම්ප කිරීම රෝගකාරක 2වීන් විසින් සලබවම භාවිත කරන සටන් උපක්‍රම වෙනවා.

එවැනි  හැකියාවන් ලබා ගැනීමෙන් පසු ඒවා ඉදිරි පරම්පරාවට උරුමකර දීමටත්, ජානමය ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමෙන් මේ භයානක හැකියාවන් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමටත් මෙම ක්ෂුද්‍ර ජීවීන්ට හැකියාව තිබෙනවා.

කොයිතරම් කාර්යක්‍ෂම සහ අලුත් ප්‍රතිජීවක ඖෂධ සොයාගත්තත්, ඒවා වගකීමකින් යුතුව භාවිත නොවන පරිසරයකදී ඉක්මනින්ම ඊට ඔරොත්තුදීමේ හැකියාව ලබාගන්නට රෝගකාරක ක්‍ෂද්‍ර ජීවීන්ට හැකියාව ලැබෙනවා.බොහෝවිට වෛරස ආසාදන නිසා ඇති වන, සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන්ට පවා " ඇන්ටිබයොටික් කරල්/ පෙති' සොයා යන සහ ඒවා අනවශ්‍ය පරිදි නිර්දේශ කරන සියලු දෙනා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධීතාව සඳහා කෙලින්ම වගකිව යුතු වෙනවා. මීට අමතරව සත්ව පාලනයේදී සතුන් ඇති කරන්නන් විසින් නිර්දේශිත මාත්‍රාවන් ඉක්මවමින් සහ හිතුමතයේ සිදුකරන ප්‍රතිජීවක ඖෂධ සතුන්ට ලබාදීම නිසාද මෙම තත්වය තවත් තීව්‍ර වෙමින් තිබෙනවා. වෛද්‍ය නිර්දේශයකින් පමණක්, අත්‍යවශ්‍ය අවස්ථාවල ප්‍රතිජීවක ඔසු භාවිතය, නිර්දේශිත මාත්‍රාව නිවැරදිව සම්පුර්ණ කාලයම භාවිත කිරීම, සතුන් සඳහා භාවිතයේදී වගකීම්සහගත වීම,

පරිසරයට එකතු නොවන පරිදි නිසි ආකාරයෙන් බැහැර කිරීම වැනි පියවර සෑමවිටම අනුගමන කිරීම, තනි තනිවත් සමාජයක් ලෙසත් අපේ දැඩි අවධානයට යොමු විය යුතු වගකීමක් වෙනවා.එසේ නොවුවහොත්, අප මේ දුටු වෛරස වසංගතයට වඩා ඉතා භයානක සහ මාරාන්තික බෝවන රෝග සහිත ලෝකයක් අපේ අනාගත පරපුරට උරුම වීමත්, ප්‍රතිරෝධී වූ විෂබීජ හමුවේ බෙලහීන වූ ප්‍රතිජීවක ඖෂධ සමග ඔවුන් අසරණ වීමත් වළක්වන්නට නොහැකි වනු ඇති බව අප යළිත් අවධාරණය කරනවා."

(නිදර්ශනී වික්‍රමසිංහ)