udara-sampath-fb-video

කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර ලෙස කරලක් සොයා ගත් බව කියූ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සිය බෙහෙත් කරලේ අමුතු ප්‍රචාරණ ව්‍යාපාරය නිසා ආන්දෝලනයක් ඇති කළේය.
කොරෝනා සුවකරන බව දක්වමින් ශ්‍රියන්ත මෙන්ඩිස්, ඕෂධී හේවාමද්දුම ආදීන්ද මාධ්‍යවේදී චමුදිතගේ නාලිකා මගින්ද ගෙනගිය ප්‍රචාරණයන් ගැනද විවිධ කථාබස් ඇති විය.
ඔහුගේ ඖෂධය නොමග යවන සුලු දෙයක් බවත් නොරැවටෙන ලෙසත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු අය ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු ඒ දිනවල තරමක් නිහඩ විය.


කරාපිටියේ මනෝ වෛද්‍ය වරයෙකු බව කියන ඔහු රෝහල ගැන කළ විවේචනාත්මක කතාවක් නිසා එහි කොරෝනා ඒකකයට මාරුවක් ලැබුණ බවටද ප්‍රසිද්ධ විය.
ඔහු සහ ඔහුගේ සහෝදරයෙකු එක්ව මෙම කරල තවමත් විකුණති. එහි ප්‍රචාරයන්ද සිදු කරති.
ඔහුගේ කරල අලෙවියට ඇති ප්‍රධාන බාධාව එන්නත් කරණයයි.
ලිංගික ශක්තිය හීන වන බව කියමින් තරුණ පරපුර එන්නත්කරණයෙන් ඇත්ව ඇති බවත් එවැනි මිත්‍යා අදහස් තුළින් ඔවුන් මුදවා ගතයුතු බවත් පසුගිය දිනවල ජනපතිවරයාගේ පවා අවධානය යොමු විය.

එම මත දුරු කිරීමට බොහෝ වෛද්‍යවරුන් උත්සාහ දරන අතරේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන කරන කතාවක වීඩියෝ කොටසක්  ඊයේ පෙරේදා තරුණ පිරිස් අතර වඩා ප්‍රකට ෆේස් බුක් පිටු කිහිපයක  පළ කර තිබේ. එහි ඔහුට  වම්පස හාමුදුරු නමක් සම අසුන්ගෙන වාඩිවී ඇති අයුරු හා දකුණුපස  කාන්තාවකගේ රුවක කොටසක් පෙන්නුම් කරයි.
මෙහිදී  වෛද්‍ය උදාර ‘කොරෝනා එන්නත‘ යයි කිසි තැනක කියන්නේ නැත. නමුත් කතාවේ යටි පෙළ විශේෂිතය. එහිදී ඔහු  ලිංගික ශක්තිය අඩුවී යාමේ අවදානමක් ගැන භයානක හෙළිදරව්වක් කරන්නේය.


කරාපිටියේ කොරෝනා ඒකකයේ වැඩකරන මේ වෛද්‍යවරයා කියන්නේ කුමක් ගැනද කුමන අරමුණකින්ද යන්න විමසා බැලීම වටී.

‘සමහර අයට නින්ද යන්නෙ නෑ මතකය අඩුවලා තියනවා කන්සන්ට්‍රෙට් නැතිවෙලා .. ෆිට් එක ඇවිල්ලා...පෙනීම අඩුවලා..කෑම කන්න බැරිවෙලා.. රුධිර සංසරණයටත් බලපාලා. පාර්ලිමේන්තුවෙදිත් කිව්වා ලේකැටිති ඇවිත් මිය ගිය බව.. හෘදයාබාධ ඇතිවෙලා තියනවා.. කකුල්වල ලේ කැටිති ඇතිවෙලා..
ඊට අමතරව අපි එනවා හන්දි අමාරු වැඩිවෙලා..කොන්දෙ අමාරු..
වැදගත්ම තැනට මං එනවා ඒ තමයි අපේ මේ ප්‍රජනක පද්ධතියට ඇති වෙලා තියන හානිය..

මෙන්න අද වෙනකොට අපේ මේ පෙර හොඳට හිටිය අපේ මේ කාන්තාවන්ගෙ නැත්නම් තරුණියන්ගේ ඔසප්වීමට බලපෑම් වෙලා තියනවා.. ඒ කියන්නෙ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙලා තියනවා..ලේ ගලායාම වැඩිවෙලා තියන අවස්ථා තියනවා..
ඊට අමතරව පිරිමි පක්ෂයට මෙන්න ශක්තිය අඩුවෙලා තියනවා..පුරුෂ ශක්තිය අඩුවෙලා තියනවා.. එදිනෙදා වැඩකරගන්න බෑ ගොවියන්ට.වෙනද වැඩකරපු ගොවියන්ට වැඩ කරගන්න බෑ..ඇඟට පණ නෑලු. අපි මේ ගැන සොයා බලන්න ඕන.. කොහොමද මෙහෙම වුනේ ඊට අමතරව පුරුෂ ශක්තිය අඩුවෙලා තියනවා.. මෙතෙන්දි මං පවසන්න ඕන.. මේව කියන්නෙ නැහැ ඩොක්ටර්ස්ලට.. ලැජ්ජාවට.. ලිංගික ශක්තියට නැතිනම් ලිංගික උත්තේජනයට තියන ආශාව අඩුවෙලා..තියනවා.. මේක බරපතල තත්වයක්..


මේව තවදුරටත් හංගගෙන මට නං ඉන්න බෑ.. මගේ වෛද්‍යවෘත්තියෙ මං දන්න ඒවත් එක්ක මේවයෙ සාක්ෂි මං ගාව තියාගෙන තමයි.. බොහොම සංයමයෙන් බොහොම හිමින් කතා කරන්නෙ..‘