nawarathri-puja-prime-minister

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නවරාත්‍රී පූජාව අරලියගහ මන්දිරයේ දී ඊයේ (12) රාත්‍රියේ දී පැවැත්විණි.
ඉන්දියානු රාජ්‍ය සභා සාමාජික ආචාර්ය සුබ්‍රමනියම් සාමි මහතා ද මෙම නවරාත්‍රී පූජෝත්සවය සඳහා එක්ව සිටීම විශේෂත්වයකි.


කොවිඩි වසංගතය හේතුවෙන් ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැති නව රාත්‍රී පූජෝත්සවය අග්‍රාමාත්‍ය හින්දු ආගමික කටයුතු සම්බන්ධීකාරක රාමචන්ද්‍ර කුරුකල් බාබු ෂර්මා, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක තුරෙයිසාමි උදයරාගව කුරුකල් සහ පුජක අරුණ ප්‍රශාන්තන් ෂර්මා පුජකතුමන්ලා විසින් මෙහෙයවනු ලැබූහ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා පසුගිය වසරේ දී මෙන්ම මෙවර ද නවරාත්‍රී පූජෝත්සවය අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද ඊට එක්වූවාය.
සියලුම හින්දු භක්තිකයන් මවක ලෙස ගරු කරන ‘ශක්ති දෙවියන්’ නමස්කාර කිරීම චාරිත්‍රානුකූලව දින නවයක් පුරාවට මෙම ආගමික වතාවට සමඟාමීව සිදුවෙයි.
නවරාත්‍රිය, සැමරුමක් ලෙස පෙනුන ද එය උපවාසයකි. මෙහි මුල් දින තුන දුර්ගා මාතාව හෙවත් කාලි මෑණියන් වෙනුවෙන් පූජා පවත්වමින් බලය වෙනුවෙන් අයැදීම සිදුවෙයි. මීළග දින තුන සැපත හා සම්පත උදාකර ගැනීම උදෙසා ලක්ෂ්මී දෙවියන් වෙනුවෙන් වෙන් වන අතර අවසන් දින තුන වෙන් වන්නේ අධ්‍යාපනය වෙනුවෙනි. ඒ අනුව අවසන් දින තුන පුරාවට සරස්වතී දෙවියන් සිහිකර පුද පූජා පැවැත්වීම සිදුවේ.
නවරාත්‍රීයට පසුව පැමිණෙන දසවන දිනය ඉතාමත් සුවිශේෂ වේ. ‘‘විජයදසමි’’ ලෙසින් හඳුන්වනු ලබන එම දිනය හින්දු බැතිමත්හු ඉතාමත් සුබ දිනයක් ලෙස සළකති.
කුඩා දරුවන්ට අකුරු කියවීමට, අලුත් වැඩ කටයුත්තක් ආරම්භ කිරීමට, අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට ඇතුළු සියලුම අලුත් වැඩ සඳහා මෙම දවස මුල් කරගනී.
දරුවන්ගේ කතා සහ නර්ථන අංගවලින් අරලියගහ මන්දිරයේ පැවති නව රාත්‍රී පූජෝත්සවය වර්ණවත් විය.

මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, මයුරපන්දි රාමේෂ්වරන්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, විනිසුරු කේ.ශ්‍රීපවන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සෙන්දිල් තොණ්ඩමන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.