bus-transport-issue-private

වසර එකහමාරකට අධික කාලයක් බස් රථ ධාවනය නොකිරීමත්, බැටරි, ටයර් ඇතුළු උපකරණ සවිකිරීම,
සර්විස් හා ග්‍රීස් කිරීම ඇතුළු සේවා සිදුකර බස්රථ ධාවනයට සුදුසු පරිදි සකස් කරගැනීම සඳහා රජය
කිසිදු අනුග්‍රහයක් ලබාදෙනු තබා බස් හිමියන් සමඟ ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් හෝ නොපැවැත්වීම
නිසා පෞද්ගලික බස්රථවලින් සියයට 25ක්වත් ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි සමස්ත
ලංකා බස්රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

පෞද්ගලික බස්රථ රියැදුරන් සහ කොන්‍ෙදාස්තරවරුන් විශාල ප්‍රමාණයක් ජීවන මාර්ග සොයා වෙනත්
රැකියාවලට යොමු වීමත් ධාවනය කරන බස්රථ සඳහා දෛනික ඩීසල් වියදම, රියැදුරු කොන්‍ෙදාස්තර
වැටුප් හා ආහාර දීමනා ලබාදීමෙන් පසු මුදලක් ඉතිරි නොවන නිසාත් දැනට ධාවනය කෙරෙන බහුතරයක්
බස්රථවල රියැදුරු හෝ කොන්‍ෙදාස්තරගේ රාජකාරී කිරීමට බස්හිමියන්ට සිදුව ඇතැයි සභාපතිවරයා
වැඩිදුරටත් පෙන්වා දෙයි.



කොවිඩ් අවදානම් තත්ත්වය ක්‍රමයෙන් අවම වෙමින් පවතින පසුබිමක සෞඛ්‍යාරක්ෂිත උපදෙස් දැඩිලෙස
අනුගමනය කරමින් රට නව සාමාන්‍යකරණ තත්ත්වයට පත්කිරීමට රජය පියවර ගනිමින් සිටියද දුම්රිය හා
බස්රිය ධාවන කටයුතු අරඹා රටේ පොදු ප්‍රවාහනය යථා තත්ත්වයට පත්කිරීම බලධාරීන්ට කිසිදු
වුවමනාවක් නොමැති බව පෙනී යන්නේ යැයි ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ගෑස් සමාගම්, සහල් මෝල් හිමියන්, තිරිඟු පිටි හා කිරිපිටි ආනයනකරුවන් රජයේ නියාමනයෙන් බැහැරව
තමන්ට සිතැඟි පරිදි මිල ගණන් ඉහළ නංවන පසුබිමක පෞද්ගලික බස්රථ කර්මාන්තයද ඒ තැනට තල්ලුකර
දැමීමට රජය කටයුතු කරන්නේ නම් බස් කර්මාන්තකරුවන් ලෙස අසරණ මගී ජනතාව වෙනුවෙන් කළ හැකි
දෙයක් තමන්ට ඉතිරිවී නැතැයි හෙතෙම සඳහන් කරයි.

උපතිස්ස පෙරේරා