කොළඹ නගරාශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාව අතර යම් ප්‍රසිද්ධියක් ලැබී ඇති නමුත් 'ක්‍රිප්ටොකරන්සි' යනු මේ වනතුරුත් ශ්‍රී ලංකාවට ආගන්තුක වචනයකි. 'ක්‍රිප්ටොකරන්සි' මෙරටට හඳුන්වාදීම සඳහා පසුගිය සතියේ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සහ ඊට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමග දැන් ක්‍රිප්ටො ගැන රටේ යම් කතාබහක් නිර්මාණයවී ඇත. එත්තෙන්ම මේ ක්‍රිප්ටොකරන්සි යනු කුමක්ද?

ක්‍රිප්ටොකරන්සි(cryptocurrency) යනු සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි ඩිජිටල් මුදල් (digital money/emoney) වර්ගයකි. ක්‍රිප්ටොකරන්සි යන්න පොදු හැඳින්වීම වන අතර ඒ යටතේ බිට්කොයින්,ලයිට්කොයින්,ඉතේරියම්,කාඩනෝ සහ පොල්කාඩොට් ආදී වශයෙන් ඩිජිටල් මුදල් වර්ග රාශියක් වෙයි. ඒ අතරින් වඩාත් ජනප්‍රිය සහ පැරණිම ක්‍රිප්ටො වර්ගය වන්නේ බිට්කොයින්(Bitcoin) ය.

ලොව ප්‍රථමයෙන් එළිදැක්වුණු ක්‍රිප්ටොකරන්සි ඒකකය වන බිට්කොයින් ඇසුරින් මෙය පැහැදිලි කරගතහොත්, මෙය රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වැනි තවත් මුදල් ඒකකයක් වුව ද බිට්කොයින් වල හැසිරීම පාලනය කිරීමට බැංකුවක්, පුද්ගලයෙක් හෝ ආයතනයක් නැත. දිනෙන් දින වැඩිවන මුදල් අවශ්‍යතා පාලනය කිරීම පිණිස නිර්මාණය කර ගන්නා ලද මුදල් ඒකකයක් වන බිට්කොයින් එයටම අනන්‍ය වූ ජාලයක් තුළ සැරිසරන අතර, මෙම මුදල් වර්ගය පරිහරණය කරනු ලබන්නේ එම ජාලයේ පරිශීලකයන් විසිනි.

2009 වර්ෂයේදී බිට්කොයින් පිළිබඳව ප්‍රථම යෝජනාව සතොෂි නකමොටෝ නම් මෘදුකාංග ඉංජිනේරුවරයා හඳුන්වා දුන්නේය. කිසිදු පාලනයකට යටත් නොවී මුදල් භාවිත කිරීම මෙහි මූලික අරමුණ විය. එසේ කරලියට පැමිණි බිට්කොයින් ව්‍යාපාරික ලෝකයේ නවතම ආයෝජන රැල්ල බවට පත්ව ඇත.

මෙම ඩිජිටල් මුදල් වර්ගය ඉතා සංකීර්ණ මෘදුකාංගයක් වීම හේතුවෙන් එය පිටපත් කිරීම සහ ව්‍යාජ ලෙස නිපදවීම කළ නොහැකි බව විශේෂඥයන්ගේ මතය වී ඇත. එහෙත් පසුගිය 2017 වසරේදී ස්ලෝවේනියානු බිට්කොයින් ජාලයකට අනවසරයෙන් ඇතුළු වූ හැකර්වරු පිරිසක් ඇමරිකානු ඩොලර් මිලියන 80 ක් පමණ වටිනා බිට්කොයින් සොරා ගෙන තිබිණි. බිට්කොයින් රඳවා තබන පසුම්බිය හඳුන්වන්නේ 'බිට්කොයින් වෝල්ට්'(Bitcoin Wallet) යනුවෙනි. එය පරිගණක යෙදුමක්(App) වේ. බිට්කොයින් වෝල්ට් සේවාවන් ලබා දෙන ආයතන විශාල සංඛ්‍යාවක් ලොව පුරා පවතින අතර යමකු බිට්කොයින්වලින් ගනුදෙනු කිරීම ආරම්භ කළ පසු ඒ සියලු ගනුදෙනු පිළිබඳ විස්තරාත්මක සටහන් මෙම වොලට්ටුවේ සටහන්වේ. එසේම ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරමින් බිට්කොයින් මිලදී ගත හැකිය.

ඩිජිටල් මුදල් වලට ඇති ඉතා ඉහළ ඉල්ලුම හේතුවෙන් පැය ගණනක් ඇතුළත බිට්කොයින්වල වටිනාකම හදිසියේ ඉහළ යන අවස්ථා දැකිය හැකි විය. එසේම කිසිවකුත් නොසිතන සරල හේතූන් මත බිට්කොයින්වල වටිනාකම විශාල ලෙස පහත යෑමේ අවදානමද පවතී. ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කළහොත් බිට්කොයින් එකක වටිනාකම අදවන එක්සත් ජනපද ඩොලර් 55,638ක් පමණවේ(රුපියල් 11,294,514ක්). කෙසේවෙතත් ඉතාම කුඩා ප්‍රමාණවලින් බිට්කොයින් මිලදී ගත හැක. එසේම බිට්කොයින් භාවිත කරමින් ලොව පුරා අලෙවි කරන භාණ්ඩ හා සේවා රැසක්ම මේ වනවිට මිලදීගත හැකි අතර ශ්‍රී ලංකාවේ වැල්ලවත්ත ප්‍රදේශයේ ඇතැම් වෙළඳසැල් වල භාණ්ඩ වෙනුවෙන් බිට්කොයින් බාරගන්නා බව වාර්තා වේ.


ක්‍රිප්ටො ලංකාවට එන්නේ මෙහෙමයි

ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ ඇමැති නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවක් පසුගිය ඔක්තෝබර් 06වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිණි. ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්,

නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව මෙම යෝජනාව ඉදිපත්ව තිබිණි. මෙම කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන් වූයේ දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්ෂේත්‍රයන් ඇගයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත්, එම රටවල් සමඟ තරගකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත්ය. අනතුරුව ඇමැති නාමල් රාජපක්ෂ විසින් පසුගිය සැප්තැම්බර් 08වැනිදා අදාළ කමිටුව නම් කළේය.ඒ අනුව එම කමිටුවට සුජීව මුදලිගේ (සභාපති), විරාජ් දයාරත්න, රජීව බණ්ඩාරනායක, ධර්මශ්‍රී කුමාරතුංග, ජයන්ත ප්‍රනාන්දු, සඳුන් හපුගොඩ, ගුවන් කොමදෝරු (විශ්‍රාමික) ටීජීජේ අමරසේන සහ මිලින්ද රාජපක්ෂ යන සාමාජිකයන් ඇතුලත් වේ.


මහ බැංකුව කළින් කතාව වෙනස් කරයිද?

නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ක්‍රිප්ටොකරන්සි හෙවත් අතථ්‍ය මුදල් (Virtual Currencies) සම්බන්ධයෙන් මෙම යෝජනාව ගෙන එන්නේ ක්‍රිප්ටො පිළිබඳව ලොව පුරා ආන්දෝලනාත්මක තත්ත්වයක් පවතිද්දීය. පසුගිය සැප්තැම්බර් 24 දින චීන මහ බැංකුව විසින් ක්‍රිප්ටො සම්බන්ධ සියලු ආකාරයේ ගනුදෙනු නීතිවිරෝධී බව ප්‍රකාශයට පත් කිරීම මීට හේතුවයි. එසේම ක්‍රිප්ටොකරන්සි මයිනින් අධික බලශක්තිය වැය වන කාර්යයක් මෙන්ම අධි ඉලෙක්ට්‍රොනික අපතයක් ජනනයක් කරන්නක් බවත් චීනය පෙන්වා දී ඇත.

මෙරට තත්වය පිළිබඳව සළකා බැලුවහොත්, ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් හඳුන්වන්නේ ක්‍රිප්ටොකරන්සි(අතථ්‍ය මුදල්) යනු ආරක්ෂාව සහතික කළ නොහැකි අවදානම්සහගත මුදල් ඒකකයක් බවයි. මේ සම්බන්ධයෙන් 2021 අප්‍රේල් 09 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක්ද නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් ආයෝජනය කිරීම හෝ භාවිතා කිරීම සැලකිය යුතු අවදානම් ඇති කරනු ලබන බවත්, ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් භාවිතය, ආයෝජනය හෝ ගනුදෙනු කිරීම සම්බන්ධ නියාමන ආරක්ෂාවක් නොමැති බව එම නිවේදනයෙන් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. මෙහිදී ප්‍රධාන අවදානම් ලෙස කරුණු 4 ක් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. ඉන් පළමුවැන්න වන්නේ කිසියම් පරිශීලකයෙකු හෝ ගනුදෙනුවක් සම්බන්ධ ගැටළු හෝ ආරවුල් ඇති වුවහොත් පරිශීලකයින්ට හෝ ආයෝජකයින්ට නියාමන හෝ නිශ්චිත නීතිමය මඟ පෙන්වීමක් නොමැති වීමයි. දෙවැන්න අතථ්‍ය මුදල් වල වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය වීම එහි සමපේක්ෂනය මත (Speculation) රඳා පවතින අතර එම නිසා අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරිමෙන් විශාල පාඩු ලැබීමේ අවදානමක් පැවතීමයි. තුන්වන කරුණ ලෙස මහ බැංකුව පෙන්වාදෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට මුල්‍ය පහසුකම් සැලසීම සදහා අතථ්‍ය මුදල් යොදා ගැනීමේ ඉහල සම්භාවිතාවක් ඇති අතර අපරාධකරුවන් විසින් අනිසි ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය සඳහාද අතථ්‍ය මුදල් භාවිතා කරනු ලැබිමට හැකි වීමයි. අවසන් කරුණ ලෙස අතථ්‍ය මුදල් විදේශයන්ගෙන් මිලදී ගැනීම විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය වීමට හේතු වනු ඇතැයි මහ බැංකුව පෙන්වාදෙයි.

එ බැවින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයින්ට මෙන්ම ආර්ථිකයට ඇති විය හැකි මූල්‍ය, මෙහෙයුම්, න

ෛතික, පාරිභෝගික ආරක්ෂාව සහ ආරක්ෂණය සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට අනතුරු අඟවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් එහිදී පවසා ඇත.

“ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිදු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළුව අතථ්‍ය මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිදු ආයතනයකට පරිගණක තුලින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට (mining) හෝ, මුලික කාසි නිකුතුවට හෝ අතථ්‍ය මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළෙඳපොළවල් සඳහා හෝ බලය පැවරීමක් කර නොමැති බවද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ“, යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වෙයි. මේ සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 07වැනිදා පැවැති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන ලද්දේ ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි. “ක්‍රිප්ටෝකරන්සි ගැන මහ බැංකුව විදියට සම්පූර්ණ තීරණයක් අරගෙන නැහැ. කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කිරීමටත්, ඒ පිළිබඳ වාර්තා කිරීමටත් කණ්ඩායමක් හදන්න කියලා. අපි ඒ සඳහා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂවරයාවත් යොමු කරලා තියෙනවා. ඒ ගැන යම් තීරණයක් ඉදිරියේ දී ගනී“, යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පැවසීය. ඒ අනුව පවතින තත්ත්වය තුළ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කුමනාකාරයේ තීරණයක් ගනු ඇත්දැයි අපට ඉදිරි දින කිහිපය තුළ දැකගත හැකි වනු ඇත.

(නයන තරංග ගමගේ -අරුණ)