රජය අලුතින් සකස් කර ඇති පනතකට අනුව නියම කර ඇති වයස් සීමාවට පෙර සේවකයකු විශ්‍රාම යවන පුද්ගලික අංශ හාම්පුතුන්ට රුපියල් පන්දහසක දඩයක් සහ මාස හයක සිර දඩුවමක් නියම කරමින් නව නීතියක් සම්මත කිරීමට නියමිතය. අධිකරණයේ අභිමතය පරිදි හාම්පුතාට මෙම දඬුවම් දෙකටම වුවද යටත් වීමට සිදු වනු ඇත.



ඊට අමතරව අදාළ සේවකයා විශ්‍රාම යාමට නිශ්චිත දිනය දක්වා සේවයේ පිහිටුවීමද කළ යුතු අතර හිඟ වැටුප්ද ගෙවිය යුතු බව පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස අවරුදු හැට දක්වා දීර්ඝ කිරීමට අදාළව ඉදිරිපත් කර ඇති ‘සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස’ නමැති පනත් කෙටුම්පතේ සඳහන්වේ. ඕනෑම අයෙකුට නියමිත කාලයට පෙර ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමටද පනත් කෙටුම්පත මගින් ඉඩ සලසා ඇත.

පනත ක්‍රියාත්මක කරන දිනය වන විට වයස අවුරුදු පනස් හතර සහ පනස් පහ අතරේ පසුවන සේවකයන්ගේ විශ්‍රාම යාමේ කාලය අවුරුදු පනස් හත දක්වා දීර්ඝ කර ඇත. පනත ක්‍රියාත්මක කරන දිනය වන විට වයස අවුරුදු පනස් තුනත් අවුරුදු පනස් හතරත් අතර පසුවන අයගේ විශ්‍රාම කාලය වයස අවුරුදු පනස් අට දක්වා සහ අවරුදු පනස් දෙක සහ පනස් තුන අතර පසුවන අයගේ විශ්‍රාම කාලය වයස අවුරුදු පනස් නවය දක්වාද දීර්ඝ කර තිබේ. විශ්‍රාම වයස අවුරුදු හැට දක්වා දීර්ඝ කර තිබෙන්නේ පනත ක්‍රියාත්මක කරන දිනය වන විට වයස අවුරුදු පනස් දෙකට අඩු සේවකයන්ට පමණි.



මේ වන විට සේවකයන් සමග එළඹ ඇති සේවා ගිවිසුමේ විශ්‍රාම යාමේ කාලය සඳහන් කර තිබෙන්නේ අවුරුදු පනස් පහ ලෙසය. මෙම පනත ක්‍රියාත්මක වීමේදී දැනට ක්‍රියාත්මක සේවා ගිවිසුම්වල දක්වා ඇති එම නිශ්චිත කාලය බල රහිත වන අතර පනතේ සඳහන් විශ්‍රාම වයස ඊට අදාළ කර ගත යුතුය.

නව පනත් කෙටුම්පත ඉදිරි දිනක පාර්ලිමේන්තුට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

(අජිත් අලහකෝන්)