Hot-situation-at-Welikada-Prison

වැලිකඩ බන්ධනාගාරයේ අද දහවල් සිරකරුවන් 50ක් පමණ කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් වාර්තා විය.
 මරණ දණ්ඩනයට හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූවන් පිරිසක් මෙම කලහය අරඹා ඇත.


ඇතැම් මිනීමරුවන් වසර 5ක් පමණක් සිරදඬුවම් විඳ සමාව ලබා නිවසට ගොස් ඇති අතරවාරයේ ඇතැම් රැඳවියන් වසර 15කට අධික කාලයක් සිරකර තබා තිබීම අසාධාරණ බවත් සඳහන් කරමින් ඔවුන්  මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති වරයාගෙන් ඉල්ලා තිබේ.


ඔවුන් පාලනය අපහසුවීම නිසා බැටන් පොලුඋපකරණ සමඟ බන්ධනාගාර ආරක්ෂකයින් කැඳවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන), මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මාධ්‍ය වෙත දන්වා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකගේ කලහකාරී හැසිරීමත් සමග එය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත් බවය.
මෙය කලහකාරී මට්ටමකට ගියේ රැඳවියන් බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලයට නැගීමට තීරණය කර පහත සිටි අනෙකුත් සිරකරුවන් වෙත ආහාර විසි කිරීමට පටන් ගැනීමෙන් පසුව බව ඔහු කියයි.
බන්ධනාගාර නියාමකවරුන් බන්ධනාගාරය වෙත කැඳවා තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

බන්ධනාගාර භාර රාජ්‍ය ඇමතිවරයා විනය සිද්ධියක් හේතුවෙන් පසුගියදා ඉල්ලා අස්වූ අතර මේ වනවිට බන්ධනාගාර භාර ඇමතිවරයෙකු නොමැත.