A-young-couple-was-electrocuted-while-fleeing-after-falling-in-love-with-Facebook

කොලොන්න, පිටවෙලගම ප්‍රදේශයේ තරුණයකු සහ තරුණියක ප්‍රේමයක් හසුවී කලබලයට පත්ව පළායාමට තැත් කළ අවස්ථාවක අනවසර විදුලි රැහැනක පැටලී විදුලිසර වැදීමෙන් මියගොස් ඇත.


මෙසේ මියගොස් ඇත්තේ වඩුමඩුව, දික්වැල් ප්‍රදේශයේ පදිංචිව සිටි මතකධීර කම්කානම්ගේ සුරාජ් ප්‍රසන්න (26) සහ කොළොන්න පිටවෙල පදිංචිව සිටි කම්කානම්ගේ සෂිණි සදමාලි (17) නැමැති දෙදෙනාය.

මෙම තරුණිය අන්තර්ජාලය (‍Facebook) මගින් මියගිය තරුණයා සමග සම්බන්ධකමක් පවත්වා ඇති අතර, 16 වැනිදා රාත්‍රියේ මෙම තරුණයා දික්වැල්ලේ සිට තරුණිය සොයාගෙන පැමිණ තිබේ.

තමා පැමිණි යතුරුපැදිය තරුණියගේ නිවස ආසන්නයේ නතර කළ තරුණයා, තරුණිය සමග කතාකරමින් සිටියදී නිවැසියන් ඒ බව දැක ඇත. එයින් බියට පත්වූ ඔවුන් දෙදෙනා පලා ගොස් තිබේ. නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි අක්කර 5ක පමණ කුරුඳු වත්තක ඔවුන් දෙදෙනා විදුලිසර වැදී මියගොස් සිටියදී 17 වැනිදා පෙරවරුවේදී සොයාගෙන ඇත.

වන සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගැනීම සඳහා මෙම කුරුඳු ඉඩම වටා අනවසර විදුලි රැහැන් ඇද තිබී ඇති අතර, මෙම දෙදෙනා මියගොස් ඇත්තේ එම විදුලි කම්බිවල පැටලීමෙනි.

මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ස්ථානීය අපරාධ ඒකකය සහ කොළොන්න පොලීසිය එක්ව පරීක්ෂණ පවත්වයි.

අනවසරයෙන් විදුලි රැහැන් ඇඳ තිබූ කම්කානම්ගේ රූපසේන නැමැත්තා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වේ.

(ප්‍රගීත් ජනක - කොලොන්න, එන්.එස්. ප්‍රියනන්දන - බලන්ගොඩ)