නීත්‍යානුකූලව පවත්වාගෙන යනු ලබන බීඩි සමාගමක ලාංඡනය සහ නාමය භාවිතා කරමින් ව්‍යාජ බීඩි නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවකු මෙමස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල පසුගියදා නියෝග කළේය.





මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අකුරැස්ස, පෝරඹ පදිංචි වලිමුණි ආරච්චිගේ විජය කුමාර නමැති අයෙකි. මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මෙවැනිම නඩුවක් සඳහා බන්ධනාගාරය මගින් සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මීගමුව, පිටිපන දකුණ පිහිටි තෝරා බීඩි කර්මාන්තශාලාවේ කළමනාකරු විසින් කළ ලද පැමිණිල්ලක් අනුව සැකකරුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

තෝරා බීඩි සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ රජයට බදු ගෙවා, දුම්කොළ ගෙන්වා සුරාබදු දෙපාර්තමේන්තු බලපත්‍ර ලබාගෙන තම බීඩි නිෂ්පාදනාගාරය කරන බවත් එමගින් දහස් ගණනකට රැකියා අවස්ථා ලබාදි ඇති බවත්ය. මේ අතර සැකකරු තම සමාගමේ නාමය සහ ලාංඡනය භාවිතා කරමින් මහා පරිමාණයෙන් ව්‍යාජ බිඩී නිෂ්පාදනය කර අඩු මිලට වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා නීත්‍යානුකූල බීඩි වෙළෙඳපොළ විනාශ වන බවද එම නිතිඥවරු පැවසූහ.

පොලිසිය සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ සැකකරු ඉන්න තැනක් නොදන්නා බව නිවැසියන් පොලිසියට පවසා ඇතැයි නීතිඥවරු වැඩිදුරටත් කීවෝය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරුන් කියා සිටියේ සැකකරු අධිකරණය මග හැරියේ නැති බවත් ඔහුට කොරෝනා සැදී සිටි බවත්ය. බුද්ධිමය දේපළ පනත යටතේ අසාධාරණ ලෙස නඩු පැවරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට සහ ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන බවද සැකකරුගේ නීතිඥවරු පැවසූහ.

(ගැමුණු චන්ද්‍රලාල් - ගාල්ල)