weeraketiya-14-boy-death

වීරකැටිය ගජනායකපුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ (19) රාත්‍රි වාර්තා විය.
පවුලක පියාට එරෙහිව පවුලේ අය විසින්ම ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිගයාමෙන් පසු එක් පුද්ගලයෙකු පියා ඉලක්ක කරගෙන නිවස තුළ තිබූ තුවක්කුවක් රැගෙන විත් නිවස ඉදිරිපස පටු මාර්ගයේ සිටියදී රාත්‍රී 10.30 ට පමණ වෙඩි තැබීම සිදුකර ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.


එම අවස්ථාවේ සිද්ධියට කිසිසේත් අදාළ නැති 14 හැවිරිදි බාලපුතු සිය පියාගේ ඇඟෙහි දැවටී හෝ සමීපයේ සිටි බවට වාර්තාවන අතර වෙඩි තබන්නට ගිය පුද්ගලයාට නිසි ඉලක්කය ගන්නට බැරිවී දරුවා දෙසට වෙඩිල්ල තබා ඇත.
ඒ සමගම 14 හැවිරිදි පුත්‍රයා ලේ ගලමින් ඇද වැටී ඇති අතර පසුව පිරිස එක්වී දරුවාව රෝහල් ගත කළත් ඔහු ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තාවේ.


එකම පවුලේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට මැදිවීමෙන් මෙලෙස ඝාතනයට ලක්වූයේ 14 හැවිරිදි සචින්ත නිම්සර නමැති 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින පාසල් සිසුවෙකි.
වෙඩි තැබීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහුව සොයා පොලිස් පරීක්ෂණ ආරම්භවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
(Gossiplankanews.com)