pushpika-lohan

ඉල්ලා අස්වූ බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සිරගෙවල් දෙකකදී බීමත්ව කළ හැසිරීම් සම්බන්ධයෙන් ඔහු නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරීක්ෂණයක් පැවැත්වෙන බවත් අද දින අගමැතිවරයා ලංකාවට ආ නිසා එය ඉක්මණින් සිදුවනු ඇති බවත් පවසා ඇති අතරම ඇමති සරත් වීරසේකර පවසා ඇති පරිදි පොලිස් මූලාස්ථානය මගින්ද සිදුවීමට අදාළ පැමිණිල්ල විමර්ශනයට ලක් කරමින් පවතී.
මෙම විමර්ශන සිදුවන අතර මෙම සිද්ධි දෙකට අදාළව නම් වශයෙන් චෝදනා ලැබූ දෙන්නෙකු වන පුෂ්පිකා ද සිල්වා යූටියුබ් නාලිකාවකට පැමිණ සිය නිර්දෝෂී භාවය ගැන අදහස් දක්වා ඇති අතර හිටපු රාජ්‍ය ඇමතිවරයාද ජාතික පුවත්පතක් අමතා තමන් තනියම සියල්ල සිදු කළ බවට ප්‍රකාශයක් ලබාදී ඇත.
ඒ අනුව මෙම සිද්ධි අතරින් වැලිකඩ එල්ලුම් ගහ බලන්න කාන්තාවක රැගෙන යාම ‘කාගේ හෝ සිතින් නිර්මාණය කළ‘ ප්‍රබන්ධාත්මක සිදුවීමක්දැයි යන සැකය මතුවන ආකාරයට ඔවුන් දෙන්නා අදහස් දක්වා තිබේ.
ඔවුන් දැක්වූ අදහස් වෙන වෙනම පහත පරිදිය



පුෂ්පිකා ද සිල්වා චමුදිත සමග යූටියුබ් වැඩසටහනේදී මෙසේ කීවාය.

“ මේ දවස් දෙකේ මම හිටපු තැන් සාක්ෂි සාධක සහිතව ඔබට ඉදිරිපත් කරන්නම්. මොකද මගේ ගෙදර සීසීටීවී කැමරා තිබෙනවා....ඒවායින් පැය 24 ම වාර්තා ලබා ගත හැකියි. සවුන්ඩ්ස් තිබෙනවා. අද තාක්ෂණයත් එක්ක මේ ජංගම දුරකථනත් එක්ක ඕනෑම පුද්ගලයකුගේ ගමන් බිමන් කළ කී දේ ගැන වාර්තා තබා ගත හැකියි. ඔය කියන වෙලාවන්වල මම හිටියේ කොහේදැයි දැනගන්න පුළුවන්. මම ලොහාන් ඇමතිතුමා එක්ක අනුරාධපුරේ ගියා කියන 12 වැනිදා මම කොළඹ ඉඳන් මාතර ගියා. ඡායාරූප ගත කිරීමකට මේ සාක්ෂි අධිවේගි මාර්ගයේ සීසීටීවී වලින් ඕනනම් ගන්න පුළුවන්.
මට කිසිදු අවස්ථාවක බන්ධනාගාරගයක් ඇතුළත හෝ එල්ලුම් ගස් බැලිමේ අවශ්‍යතාවක් නෑ. මම එවැනි ඇමතිවරයෙක් සමඟ එවැනි ගමනක් නොගිය බව වගකීමෙන් කියනවා. පුළුවන් නම් මම ගිය බවට කොහේහරි සාක්ෂියක් තිබෙනවා නම් ඒක ඔප්පු කරන්න කියල ම අභියෝග කරනවා. “


ලොහාන් රත්වත්තේ දිනමිණ පුවත්පත සමග කියූ කරුණු මෙසේ වාර්තාකර ඇත.

“අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට තමන් ගිය බව සත්‍ය වුවත් ඒ තුළට කාන්තාවක් සහ මිතුරන් ගෙන යෑමක් හෝ සිරකරුවන්ට තර්ජනය කිරීමක් සිදු නොකළ බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කියයි.

විෂය භාරව සිටි රාජ්‍ය ඇමැතිවරයා ලෙස බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාවක් සඳහා තමන් එහි ගියද පිසතෝලයක් තබා තම ජංගම දුරකතනයවත් රැගෙන නොගිය බවද පවසන රත්වත්තේ මහතා අවධාරණය කරන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන්ට පිස්තෝල තබා තර්ජනය කරන්නට තරම් තමන් මෝඩයකු නොවන බවයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස පරික්ෂා කිරීමට ගිය නමුත් බීමතින් නොසිටි බවත් මිතුරන් හෝ කාන්තාවක් ඒ සමඟ නොගිය බවත් පෙන්වා දෙන රාජ්‍ය ඇමැතිවරයා පවසන්නේ රූ රැජනකගේ නමක් ඒ හා ප්‍රචාරය වුවද එවැනි කෙනකු තමන් හඳුනන්නේද නැති බවයි.“
(Gossiplankanews.com)