monaragala-court-decition

මැතිවරණ කාලය තුළ ඡන්දදායකයන්ට විවිධ භාණ්ඩ සහ සේවා අල්ලස් ලෙස ලබාදෙමින් සිය ජයග්‍රහණය ලබාගත් බවට චෝදනා ලබා සිටි අපේක්ෂකයෙකුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට මොනරාගල මහාධිකරණ විනිසුරු(පූර්වගාමී) රංග දිසානායක මහතා පසුගිය 13දා නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ දඩුවම් නැතිව නිරන්තරයෙන්ම සිදුවිය හැකි මෙම අවැඩ හමුවේ නීතිය ක්‍රියාත්මක වූ ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙය හඳුනා ගැනීමට ලැබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කොට තේරී පත්වූ තරංග හර්ෂණ දිසානායක මන්ත්‍රීවරයා අපේක්ෂකයෙකු ලෙස මැතිවරණ කාලය තුළ ඡන්දදායකයන්ට විවිධ භාණ්ඩ සහ සේවා අල්ලස් ලෙස ලබාදෙමින් සිය ජයග්‍රහණය වැළැක්වූ බවට චෝදනා කරමින් මොනරාගල මදුරුකැටිය ඡන්ද කොටිඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරීපත්වූ ඩබ්ලිව්.එම්. සුනිල් ශාන්ත නමැති අයෙකු විසින් මෙලෙස නඩු ගොනු කර තිබිණි.



මන්ත්‍රීවරයාගේ ධුරය අහෝසි කොට ඊළගට වැඩිම ඡන්ද ලබාගෙන සිටින අපේක්ෂකයා මන්ත්‍රී ධුරයට පත් කරන ලෙසද මොනරාගල මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
මොනරාගල  සුනිල් ශාන්ත මහතා දිසානායක මහතා ඇතුළු අනූපස් දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මොනරාගල මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබුනේ
මැතිවරණ කොමිසම, එහි සාමාජිකයන්, තේරීම් භාර නිලධාරි, මොනරාගල තේරීම් භාර නිලධාරී, මොනරාගල සහකාර මැතිවරණ කොමසාරිස් යන අය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරමිණි.

මැතිවරණ කාලය තුළ ඡන්ද දායකයන්ට විවිධ භාණ්ඩ සහ සේවා අල්ලස් ලෙස ලබාදෙමින් තමාගේ ජයග්‍රහණය වැළක්වූ බවට පෙත්සම්කරු විසින් මෙම නඩුව පවරා තිබිණි. මෙහිදී පුද්ගලයන් දොළොස් දෙනෙකු සාක්ෂි දුන් අතර, තොරතුරු ලබාගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරුද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිඛිණි. 2012 අංක 22 දරණ පනතින් සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (262 වන අධිකාරය) 82 වැනි වගන්ති යටතේ මෙම නඩුව පවරා තිබිණි. කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම මන්ත්‍රීවරයාගේ ධුරය අහෝසි කොට ඊළගට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා මන්ත්‍රීවරයා ලෙස පත්කරන ලෙස නියෝග කළේය.



මෙම නියෝගය, අභියාචනයක් ඉදිරිපත් කළ යුතු කාලසීමාව ඉක්මවීමෙන් පසු ජනාධිපතිවරයාට සහ මැතිවරණ කොමිසමට දැනුදෙන බවද මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේය. ප්‍රධාන වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා මහතා පෙනී සිටි අතර, රජයේ නිලධාරීන් වෙනුවෙන් රජයේ අධිනීතිඥ කනිෂ්ක රාජකරුණා මහතා පෙනී සිටියේය.පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥවරුන් වන සම්පත් පුෂ්පකුමාර, චානක කුලතුංග යන මහත්වරු පෙනී සිටියහ. මෙරට මැතිවරණ සමිබන්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක් වන මේ සම්බන්ධව අදහස් දක්වමින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසා සිටියේ, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා පෙනී සිටින අපේක්ෂකයන් ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීමට උත්සාහ නොකරනු ඇති බවයි.

(මොනරාගල - සුමනසිරි ගුණතිලක)