පසුගිය දිනවල කොරෝනා රෝගය වැළඳී තිබූ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අද දින අභාවප්‍රාප්තවූ බව කණගාටුවෙන් වාර්තා කරන්නට සිදුව තිබේ. ඔහු  අද අලුයම් කාලයේ දී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.මියයනවිට 68 වන වියෙහි පසුවිය.
පසුගිය මාසයේදී කොරෝනා රෝගය ආසාදනය වීම නිසා ඔහු රෝහල්ගත කොට ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු සුව වී යළි නිවෙස් වෙත පැමිණ සිිටි මුත් ඔහුගේ රෝග ලක්ෂණ අවසන්ව නොතිබිණි.හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මීට දින 03කට පෙර  පෙර යළි රෝහල් ගත කරන්නට සිදුවූ අතර ඔහුගේ තත්වය උත්සන්න විය.
 රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු සුනිල් පෙරේරා අද අලුයම් කාලයේ අභාවප්‍රාප්ත වූයේ කොවිඩ් නිව්මෝනියා රෝගී තත්ත්වය නිසයි.


1952 වසරේ සැප්තැම්බර් 14 වන දා උපත ලද අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අයෙකි.
සිය පියා විසින් ආරම්භ කරන ලද ජිප්සීස් සංගීත කණ්ඩායමට වයස අවුරුදු 11ක් ව සිටිය දී  සුනිල් පෙරේරා එක් වූයේ 1969 වසරේදී යි. ඔහු සිය සොහොයුරන් වූ නිහාල්, ලාල්, නිමල්, පියල් සහ තවත් ඥාති සොහොයුරන් සමඟ ජිප්සීස්, මෙරට කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර සංගීත කණ්ඩායමක් බවට පත් කළේය.

 ලිඳ ළඟ සංගමය, අම්මා අම්මා මේ මට , කුරුමිට්ටෝ ,කැඩපතකින්, නෝනේ මගේ සුදු නෝනේ, ලුණු දෙහි, ඕයේ ඔජායේ ,පිටි කොටපන් නෝනේ ,සිංඤෝරේ ඔහු සහ කණ්ඩායම තිලිණ කළ ජනප්‍රිය නිර්මාණ අතර තිබේ.
ඔහු වෙළෙඳ දැන්වීම් නිර්මාණකරනයෙහිද නැතිවම බැරි කෙනෙකු විය. ඔහු වරින්වර රටේ සමාජ සංස්කෘතික දේශපාලන තත්වයන් ගැන දැක්වූ අදහස්ද ආන්දෝලන ඇති කර තිබුණි.
 සුනිල් පෙරේරා සජිත්, ගයාන්, රෙහානා සහ මනීෂා යන දරුවන් සිව් දෙනෙකුගේ පියාණන්ය. ඔහුගේ අවසන් කටයුතු අද දිනයේම සිදු කරනු ඇතැයි පවුලේ ආරංචි වාර්තා කර තිබේ.