My-father-grew-up-in-Corona-because-of-me---Sajitha-Perera

කොවිඩ් 19 ආසාදිතව අද උදෑසන මියගිය ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ පුත් සජිත පෙරේරා සිය පියාට අසනීප තත්වය ඇතිවූ දිනවල පළ කළ අදහස් කිහිපයක් මේ සමග පළවේ.


පියාට කොවිඩ් කියලා දැනගත්තේ කොහොමද.?


“මුලින්ම හැදුණේ මටයි.”

ඔබ හිතන විදිහට ඔබට ආසාදනය වුණේ කොහොමද…?

“මම තමයි ගෙදරින් එළියට යන්නේ. බැංකුවට, ෆූඩ් සිටි එකට ගිය වෙලාවක කාගෙන් හෝ මට වයිරසය ආසාදනය වන්නට ඇති”



සති කිහිපයකට පෙර එක්තරා රූපවාහිනී වැඩසටහනකටත් පියා සහභාගි වුණා නේද.?

“ඔව්. ඒත් එහිදී බෝවුණා කියලා මම හිතන්නෙ නැහැ. ඒ සති දෙකකටත් කලින්. මුලින් හැදුණේ මටයි. පසුවයි තාත්තාට හැදුණේ. මගෙන් තමයි ඔහුට වැලඳෙන්න ඇත්තේ. නංගිට හැර අපි හැමෝටම හැදුණා. මගේ දරුවො දෙන්නාටත් ආසාදනය වුණා.”

තාත්තාට රෝග ලක්ෂණ දකින්න තිබුණද?

“ඔව්. සැරෙන් සැරේට අඩුවන, වැඩිවන උණ ගතියක් තිබුණා.”

ඔබ පියා සමඟ නිතරම සමීපව කටයුතු කරනවාද?
“තාත්තාට එන වැඩ ගොඩකට උදවු වෙන්නේ මමයි. තාත්තා පසුගිය කාලෙත් ගෙදර ඉඳන් පටිගත කිරීම් රාශියක්ම කළා. මම තමයි ඒවා වට්ස්ඇප් හරහා යැව්වේ. ඒ වැඩවලදී තාත්තායි මමයි ගොඩාක් සමීපව වැඩ කරනවා.”

පියා බෝ නොවන රෝගවලින් පෙළෙනවාද?


“අවුරුද්දක් විතර වෙනවා රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා. ඒ වෙනකන් කිසිම ලෙඩක් තිබුණේ නෑ. සීනිත් ගොඩක් ඉහළ මට්ටමක නැහැ. තාත්තට වයස අවුරුදු 70ක්. ඒ වයසේ හැටියට නම් ඔහුට ලෙඩ නැහැ”



සමාජ මාධ්‍යවල පළවූ වැරදි ප්‍රචාර නිසා කරදරයක් වුණේ නැද්ද?

‘‘නෑ. රෝහලේම හිටපු කවුරුහරි කෙනෙක් තාත්තගේ ෆොටෝ අරගෙන දාන්න ඇති. මට තිබුණු ලොකුම කරදරය දුරකතන ඇමතුම්වලට උත්තර දීලා ඉවරයක් නැති වීමයි. ඒ නිසා නම් පුදුම කරදයක් වින්ඳා.”

ඒ අතර සුනිල් පෙරේරාට ආදරය කරන අයත් ඉන්න ඇති නේද?“

ඔව්. ඒ අයත් කතා කළා.

(සාකච්ඡා සටහන -තුෂාරී කළුබෝවිල රසඳුන)