ajith-cabral-next

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධූරයේ නැවත කටයුතුකිරීමට යොදවන බවට දේශපාලන ආරංචි වාර්තා කළේ මෙම සතිය මුලදීය. ලැබෙන ආරංචි අනුව ලබන 16 වැනි දින ඔහු වැඩ බාරගැනීමට නියමිතය.
වර්තමානයේ මහබැංකු අධිපති ධූරය දරන්නේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු මෙන්ම කොළඹ විශ්ව විදයාලයේ උපකුලපති ධූරයද කලක් දැරූ ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතාය.
රාජ්‍ය ඇමති වෙනුවෙන් ඉදිරි දින කිහිපය ඇතුළත ඔහු ඉල්ලා අස්වනු ඇති බවටත් වාර්තා පළව තිබේ.
කබ්රාල් මහතා පාර්ලිමේන්තුවෙන් මහබැංකුවට යැවීමට විශේෂ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක්ද  සකස් වෙමින් පවතින බව දැනගන්නට තිබේ. එවැන්නක් අවශ්‍යව ඇත්තේ කබ්රාල් මහතා තමන් මහබැංකු අධිපති ධූරය බාරගැනීමට නම් අමාත්‍ය බලතල සහිතව එය හිමිවිය යුතු බවට කර ඇති ඉල්ලීම් නිසා බවටද ආරංචි තිබේ. මහ බැංකු අධිපති ධූරයට පත් වීම සඳහා කැබිනට් අමාත්‍ය වරයෙකුට හිමි තරාතිරම හා ඒ හා සමාන තත්වයක් තමාට අවශ්‍ය යයි ඔහු දන්වා ඇත.
චීනය, සිංගප්පූරුව සහ වියට්නාමය වැනි රටවල  මහ බැංකු අධිපති ධූරය සඳහා කැබිනට් තතත්වය සහිත තනතුරක් තිබෙන බව ඔහුගේ තර්කයයි.


 මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ සාකච්ඡා කිරීමට හා තීරණ ගැනීම සඳහා, ක්‍රියා පටිපාටියට අනුව කැබිනට් ඇමතිවරයෙකුට සමාන බලයක් ඊට අවශ්‍ය බව ඔහු පෙන්වාදී ඇත.
මෙම කාරනාව සම්බන්දයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂය විමසීමක් කරන ලද නමුත් කතානායකවරයා එම ප්‍රශ්නය කබ්රාල්ගෙන් අසන්නට ඉඩ නොදී අදාළ නැත යයි කියමින් ප්‍රතික්සේප කළේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් අජිත් නිවාඩ් කබ් රාල් මහතා කියා සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයෙන් මේ සතිය තුළදී තමන් එම තනතුරේ වැඩ බාර ගන්නා බවයි.
මහ බැංකුවේ අධිපති ධුරයට තමා නැවත යන බවට පැතිර යන ආරංචිය තමා ප්‍රතික්ෂේප කරන්නේ හෝ තහවුරු කරන්නේ හෝ නැතැයි ඔහු පවසා තිබුණි.
මහ බැංකුවේ අධිපති ලෙස තමා වසර අටකට වැඩි කාලයක් සේවය කර ඇතත් කිසිම රජයකින් විශ්‍රාම වැටුප විදියට තමා සත පහක් ගෙන නැති බවද අඩු තරමින් තීරු බදු රහිත වාහනයක් හෝ ලබා ගෙන නැතැයිද කබ්රාල් මහතා පැවසුවේය.
විශ්‍රාම වැටුප තමාට හිමිවිය යුතු වරප්‍රසාදයක් බව පැවසූ මුදල් රාජ්‍ය ඇමැති වරයා 2006 වර්ෂයේදී එවකට ජනාධිපති ලේකම්වරයා තමාට දුන් පත්වීම් ලිපියේ විශ්‍රාම වැටුපක් හිමි විය යුතු බව පැහැදිලිව සඳහන් කර තිබුණේ යැයිද කීවේය.නමුත් මේ දක්වා තමාට විශ්‍රාම වැටුපක් නොලැබුණු බවද ඔහු පැවසුවේය.

එක එක කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ තමාට අද මඩ ගසන බවත් එවැනි මඩ අපහාස නින්දා මධ්‍යයේ තමාගේ ගමන වෙනස් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බවත් ඔහු කීය.



ජනතාව හිස් පිඟාන අතේ තබාගෙන සිටින මොහොතක ආණ්ඩුවේ අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු කිහිප දෙනෙක් කල්දේරම් පිටින් බෙදාගත හැකි නීති සකසන බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මේ අතර පවසා තිබුණි.
තමන්ගේත් තම හිතවත් කූට ව්‍යාපාරිකයන් අතළොස්සකගේත් පොකැට්ටුව පුරවාගත හැකි නීති සැකසීම කෙතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක් දැයි මන්ත්‍රීවරිය ප්‍රශ්න කළාය.

එමෙන් ම, රාජපක්ෂ ආණ්ඩුව බලයට ආ දා සිට ජාතික වශයෙන් වැදගත් එකදු පනතක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර අවම තරමින් පොරොන්දු වූ පරිදි අසරණ ජනතාවගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමවත් නොකර ආණ්ඩුව ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ ගිණුම් තර කිරීමට යෑම බරපතළ කාරණයක් බව ද ඇය පෙන්වා දුන්නාය.

රටේ බදුවලට පොලු තබා ඇත්තේ සාමාන්‍ය ජනතාව නොව මහා පරිමාණයෙන් හා නීති විරෝධීව ආදායම් උපයන ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් අතළොස්සක් බවත් ඉදිරියේදී රටේ අනාගතය ගැන කිසිදු පැහැදිලි භාවයක් නොමැති බවත් ගුණසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.