මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන අතරවාරයේදී 15 හැවිරිදි දැරියකට අසභ්‍ය ඡායාරූප යවා ලිංගික හිංසනයට ලක් කළ බව කියන විද්‍යා විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයකු පානදුර, දිග්ගල දී  අත්අඩංගුවට ගත් බව පිළියන්දල  පොලිසිය කියයි.  දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දුරකතනය හරහා කරන ලද පැමිණිල්ලකින් පසු එයින් ලද උපදෙස් අනුව පිළියන්දල පොලිසියට ඒ පිළිබඳ පැමිණිලි කළ බව පොලිසිය කියයි. 

කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරිය මෙම වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇති අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා සැකකාර ගුරුවරයා උගන්වන මහරගම උපකාරක පන්තියකට මව්පියන් විසින් යොමුකර තිබූ බව  පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.  කොරෝනා වසංගත තත්ත්වය මත පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් උපකාර පන්තියට පැමිණෙන සිසු දරු දැරියන්ට මාර්ගගත අධ්‍යාපනය ඔස්සේ විද්‍යා විෂය සඳහා දැනුම ලබාදීමට සැකකාර ගුරුවරයා විසින් කටයුතු කර තිබූ බවත් පොලිසිය කියයි.





 පසුගිය දිනෙක මෙම සැකකාර ගුරුවරයා පැය දෙකක කාලයක් දැරියට මාර්ගගත අධ්‍යාපනය ලබාදී ඇති අතර රාත්‍රී 9ට පමණ දැරිය නින්දට ගිය අතරවාරයේදී මව ඇයගේ ජංගම  දුරකතනය පරික්ෂා කිරිමේදී සැකකාර ගුරුවරයා විසින් වට්ස්අප් තාක්ෂණය ඔස්සේ එවන ලද අසභ්‍ය කෙටි පණිවිඩ කීපයක් දැක දැරියගෙන් ඒ පිළිබඳ විමසා ඇතැයි පොලිසිය කියයි.  ගුරුවරයා දැනට මාස කීපයක සිට  මෙයාකාරයෙන් කාන්තාවගේ උඩුකය  නිරුවත් ඡායාරූප සහ වෙනත් ඡායාරුප තමන් වෙත එවා ඒ ආකාරයෙන්  තමගේ ද නිරුවත් ඡායාරූප එවන ලෙස වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ තමාට කෙටි පණිවුඩ එවූ බවත් ඊට ප්‍රතිචාර වශයෙන් අන්තර්ජාලය ඔස්සේ ලබාගත් ඡායාරූප කීපයක් ගුරුවරයා වෙත යැවූ බව දැරිය මව්පියන්ට පවසා ඇතැයි පොලිසිය කියයි.සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන් කරුණු විමසීමත් සමගම ලජ්ජාවට පත් වූ දැරිය නිවසේ තිබූ පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් කළුබෝවිල  ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර,

ඇයගේ තත්වය එතරම් බරපතළ නැතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.


මේ පිළිබඳ අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ දිනවල බොහෝ දරුවන් මාර්ගගත අධ්‍යාපනයට නැඹුරු වී තිබෙනවා. ඔවුන් දිනකට කාලයෙන් වැඩි  වේලාවක් ජංගම දුරකතනය හා හුදෙකලාවීම සිදුවෙනවා. මෙම සිද්ධිය මෙයාකාරයෙන් හෝ නිමා වූයේ එම මාපියන්ගේ සිය දරුවා සම්බන්ධයෙන් සැලකිලිමත් වූ නිසයි.  සැකකාර 35 හැවිරිදි ගුරුවරයා විවාහක දරුවන් ද සිටින තැනැත්තන්කු බව පොලිසිය කියයි.


  -බිමල් ශ්‍යාමන් ජයසිංහ- (ලංකාදීප)