Dimbulagala-kasippu-racket-told-to-the-world-by-an-aboriginal-woman

නිරෝධායන ඇඳිරි නීතියට මුවාවී එම කාල සීමාවේදී දිඹුලාගල දළුකාන ආදිවාසී ගම්මානය පුරා සිදුවෙමින් පවතින නීති විරෝධී මත්පැන් අලෙවිය නිසා පවුල් ගණනාවක් විනාශ වී ගැටලු රැසක් මතුව ඇතැයි පවසන දළුකාන ආදිවාසී කාන්තා නායිකාවක පෙරේදා (15 වැනිදා) ගම්මානයේ පත්තිනි දේවාලය ඉදිරිපිට 

මාරාන්තික උපවාසයක් ආරම්භ කළාය. මෙලෙස මාරාන්තික උපවාසයක නිරත වන්නේ දළුකානේ 58 වියැති තිදරු මවක වන කන්දප්පුගේ ලිසිනෝනා නමැති ආදිවාසී නායිකාවය.  දළුකාන ගම්මානයේ පවුල් 17 ක් පමණ මේ දිනවල නීති විරෝධී මත්පැන් ගංජා අලෙවි කිරීම නිසා  ඒවාට ලොල් වූ පවුල්වල ගැටුම්කාරි තත්වයක් මතුව ඇති බවත් ඇතැම් පවුල්වල කුඩා දරුවාගේ සිට මව හා පියාද මෙම මත්ද්‍රව්‍යවලට ගොදුරුවීම නිසා තම වර්ගයාට මහත් බලපෑමක් සිදුව ඇති බවද ලිසිනෝනා මහත්මිය  පැවැසුවාය.
මෙම මත්ද්‍රව්‍ය නිසා තම ස්වාමිපුරුෂයාද මීට වසර හතරකට පෙර තමාට අහිමි වූ බවත්  වර්තමානයේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම  නිසා දළුකාන ගම්මානයේ පවුල් ගණනාවක් විනාශ වෙමින් සිටින බවත් ලිසිනෝනා මහත්මිය සඳහන් කරයි.  මේ නිසා ගම්මානයේ බාල අපචාර, කාන්තා හිංසන, ස්ත්‍රී දූෂණ, හොර මැරකම් වැඩි වී ඇති බව පෙන්වා දෙන ලිසිනෝනා මහත්මිය මෙත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ  කසිප්පු ජාවාරම නතර කර දෙන ලෙස  තමා දෙතුන් වතාවක් ඉල්ලා සිටියද ඉන් පලක් නොවුණු බවද පැවසුවාය.

තමන් මේ පිළිබඳව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝද දැනුවත් කළ බවත් යුද්ධය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ගම්මානයේ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමට හැකිවනු ඇතැයි තම විශ්වාසය කරන බවද ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය.  දළුකාන ගම්මානයේ මත්ද්‍රව්‍යය ජාවාරම නතර කිරීමටද අදාළ බලධාරීන් පියවර නොගත හොත් තමා ජාත්‍යන්තර ආදිවාසී සමුළුවට දන්වා මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය සඳහන් කළාය.


 - නිමල් ජයරත්න-