Prison-riots-caused-by-Minister-of-State-Lohan-and-the-beauty-queen-The-Morning-revealed

බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට බීමත්ව පැමිණ කලබලකාරී හැසිරීමක නිරත වූනේ යයි අද (15) දෙරණ මාධ්‍ය ජාලයට අයත් ‘ද මෝර්නිං‘ ඉංග්‍රීසි පුවත්පත විශේෂ හෙළිදරව්වක් කර තිබෙයි. මෙම සංසිද්ධිය අනෙක් ජාතික පුවත්පත්වලද අද වාර්තා කර ඇති නමුත් රාජ්‍ය ඇමතිවරයා කවුදැයි එකී වාර්තාවල පළවී නැත. දිනිත රත්නායක ලියූ වාර්තාවේ පරිවර්තනය  පහත පරිදිය.
 
 ‘බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සිය මිතුරන් කණ්ඩායමක් සමඟ බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට 13 සඳුදා ඇතුළු වූ බව පැවසෙන අතර, මත්පැන් පානය කර  ඒ ආකාරයටම අනුරාධපුර බන්ධනාගාරයටද ඉරිදා (12) සවස  ඇතුළු වූ බව කියැවේ.



ආරංචි මාර්ග වලට අනුව, බලවත් දේශපාලන පවුලකින් පැවත එන රාජ්‍ය ඇමතිවරයා, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සැකකරුවන්ට ඔහු ඉදිරියේ ආයුධ පෙන්වා නියෝග කර දණින් වැටී  පහත් වන්නැයි පවසා දඩුවම් කිරීමට උත්සාහ කර තිබේ. මේ කාලය තුළ ඔහු බීමතින් සිටි බවත්, ඔහු හෙලිකොප්ටරයකින් අනුරාධපුර බන්ධනාගාර භූමියට ඇතුළු වී ඇති බවත් ආරංචි මාර්ග වලින් දැන ගන්නට ඇත.

ඊයේ (14) දෙමළ ජාතික ජනතා පෙරමුණේ (ටීඑන්පීඑෆ්) පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් සිය නිල ට්විටර් ගිණුමේ මේ ගැන සටහනක් පළ කළේය.
රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වූ බව ඔහුගේ පක්ෂයට තහවුරු කළ හැකි බව ඔහු පවසා ඇත.දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකු කැඳවා, ඔවුන් දෙදෙනාම එම ස්ථානයේම මරා දමන බවට තර්ජනය කරමින් තුවක්කු පෙන්වා ඔහු ඉදිරියේ දණ ගැස්වූවේ යයි එහි ලියා තිබේ.

ටීඑන්පීඑෆ් වෙනුවෙන් ගජේන්ද්‍ර පොන්නම්බලම් ඉල්ලා සිටියේ රත්වත්තේ වහාම ඉල්ලා අස්විය යුතු බවත්, ඔහුගේ සියලු තනතුරු අහෝසි කරන ලෙසත් ය. අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් මරා දමන බවට තර්ජනය කළැයි කියන රත්වත්තේ වහාම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි දෙමළ ජාතික සන්ධානය,ඉරිදා අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් මරා දමන බවට තර්ජනය කළ සිද්ධියට වහාම අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පවරන ලෙසද ඉල්ලා ඇත.

මේ අතර, පසුගිය සතියේ බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වූ බව කියන එම රාජ්‍ය ඇමතිවරයා, ඔහුගේ මිතුරන් පිරිසකට බන්ධනාගාරයේ එල්ලුම් ගස බැලීමට ඉඩ ලබා දුන් බවත්, මෙම කණ්ඩායම අතර මාස කිහිපයකට පෙර ජාතික මාතෘකාවක් සැපයූ රූපලාවන්‍ය තරඟ ජයග්‍රාහිකාවක වූ බවත් දැනගන්නට ඇත.

ආරංචි මාර්ග වලට අනුව, ඉහත කී රූ රැජිණිය රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම පැමිණි වාහනය පදවාගෙන ගොස් ඇති අතර කණ්ඩායම එල්ලුම් ගස බැලීමට යාමට උත්සාහ කළ විට බන්ධනාගාර නිලධාරින් ඇයට නොයන ලෙස ඉල්ලා ඇත. ඇය ගැහැනියක වීම හේතුවෙන් පිරිමි සිරකරුවන් රඳවා සිටි සිර මැදිරිවලින් ඔබ්බට යාමට අවසර නොවීය.



කෙසේ වෙතත්, එල්ලුම් ගහ වෙත යාමට ඇති එකම මාර්ගය පිරිමි සිරකරුවන් රඳවා සිටින සිර මැදිරි පසු කර බැවින් මේ අවස්ථාවේදී රාජ්‍ය ඇමතිවරයා සහ ඔහුගේ අධික ලෙස මත්පැන් පානය කළ මිතුරන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් කියා සිටියේ ඇය ඇතුළු වීම නැවැත්විය යුතු නැති බවයි.

ආරංචි මාර්ග වලට අනුව, රාජ්‍ය ඇමතිවරයාගේ මිතුරන් ද අධික ලෙස මත් වී ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කොට කලිසම් වලින්  සැරසී සිටියහ.

"ඔවුන් කෙතරම් බීමත්ව සිටි ද යත්, සමහර අයට කෙලින් සිටගෙන සිටීමට පවා නොහැකි වූ අතර බිම වැටී ඇත" ආරංචි මාර්ග කියා සිටියේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි.

ඒ හා සමානව, ද මෝර්නින් සමඟ සම්බන්ධ වූ විට රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේගේ මාධ්‍ය ලේකම්වරයා පැවසුවේ, පුවත්පත විසින් කියා ඇති එවැනි සිද්ධීන් කිසිවක් සිදු වී නැති හෙයින් මෙම සිද්ධීන් පිළිබඳව අදහස් දැක්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. '
(Courtesy : The Morning -Dinitha Rathnayake )