ශ්‍රී ලාංකික සම්භවය සහිත නෝර්වේ පුරවැසි කම්සි ගුණරත්නම් මෙනෙවිය නෝර්වේ රාජ්‍යයේ මෑතක පැවැත්වූ මහමැතිවරණයෙන් එරට පාර්ලිමේන්තු ආසනයක් දිනාගැනීමට සමත්ව තිබේ.  නෝර්වේහි කම්කරු පක්ෂයේ සාමාජිකාවක වන 33 හැවිරිදි ඇය ‘කම්සි ගුණරත්නම්‘ යන්නට පෙර ‘කම්සාජිනී ගුණරත්නම්‘ වූවාය. ඇය ශ්‍රී ලංකාවේ යාපනයේ උපත ලබා ඇති අතර ඇයට වයස 3 දී (1991) ඇගේ පවුලේ අය සරණාගත වීසා මත නෝර්වේ වෙත සංක්‍රමණය වී තිබේ. ඇගේ මව හා පියා දෙන්නාම ධීවර වෘත්තිකයන්ය. එක් සහෝදරයෙකුද ඇයට සිටී.


ඔස්ලෝ විශ්ව විද්‍යාලයෙන් සමාජ භූගෝල විද්‍යා උපාධියක් ලබා ඇති ඇය දමිළ තරුණ සංවිධාන වල කැපී පෙනෙන වැඩ කළ තැනැත්තියකි. ඔස්ලෝ නගර සභාව වෙනුවෙන් ඇය මැතිවරණයකට මුලින්ම 2007 ඉදිරිපත්වූ අතර එහි සභිකයෙකු ලෙස තේරී පත්වූවාය. 2015 සිට ඇය ඔස්ලෝ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙසද කටයුතු කරන අතර ඇය එම තනතුරට දෙවරක් පත්වූවාය.
 ‘කම්සාජිනී ගුණරත්නම්‘ යන නම  ‘කම්සි ගුණරත්නම්‘ ලෙස ඇය කෙටි කර ඇත්තේ නෝර්වේ රටේ භාවිතය පහසුවනු පිණිසය. මෙවර මහමැතිවරණයේදී කම්කරු පක්ෂයේ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වූ ඇය එරට පාර්ලිමේන්තුවට දැන් තේරී පත්වී සිටින්නීය.
( gossiplankanews.com )