ප්‍රනාන්දුපුල්ලෙ පවුලෙ බාලයා දේශපාලනේට එන්න ඉඩ තියෙනවා

Ad Code

ප්‍රනාන්දුපුල්ලෙ පවුලෙ බාලයා දේශපාලනේට එන්න ඉඩ තියෙනවා



එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයාගේ බිරිය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගැන මේ දිනවල කොරෝනා ගැටලුව නිසා කථාබහක් ඇතිව තිබේ.   සමෘද්ධි යනු ඔවුනගේ දියණියයි. ඇය සිය පවුල ගැන පුවත්පතකට දැක්වූ අදහස් මේ සමග පළවේ.
 
ඔබ පුංචි කාලෙ අවුරුද්දක් විතර ඕස්ට්‍රේලියාවෙ ජීවත් වුණු බව මම අහල තියෙනවා. හදිසියේ ලංකාවෙන් යන්න වුණේ ඇයි කියන එකෙන් අපි මේ කතාබහ පටන් ගමුද?

හොඳයි. අම්මගෙ පශ්චාත් උපාධියේ පුහුණුව සඳහා ඇයට ඕස්ට්‍රේලියාවට යන්න වුණා. ඒ වෙලාවෙ තමයි මමයි, මල්ලියි දෙන්නම අම්මත් එක්ක ඕස්ට්‍රේලියාවට ගියේ. ලංකාවෙන් යන්න කලින් පහ ශ්‍රේණිය වෙනකම් මම ඉගෙනගත්තෙ මීගමුව ආවේ මරියා බාලිකා පාසලේ. ඕස්ට්‍රේලියාවෙ හිටිය අවුරුද්දෙ මමයි මල්ලියි ගියේ එහෙ ඉස්කෝලෙකට.



ආපහු ලංකාවට ආවට පස්සෙ ගියේ ආවේ මරියා බාලිකාවටමද?

නැහැ. දෙදහස් දෙකේ ලංකාවට ආවට පස්සේ මම ගියේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. උසස් පෙළ වෙනකන්ම ඉගෙනගත්තෙ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කොළඹ නීති පීඨයට ඇතුළත් වෙලා එහි අධ්‍යාපනය සම්පූර්ණ කළා. දැන් මම නීතීඥවරියක්.

ඔබ පුංචි කාලෙ ගෙදර ජීවිතේ කොහොමද? දේශපාලන කටයුතු නිසා තාත්තා නම් සෑහෙන කාර්යබහුල වෙන්න ඇති?

ඔව්. අම්මටයි, තාත්තටයි, මටයි, මල්ලිටයි පවුලක් විදිහට එකට ගත කරන්න ලැබුණු කාලය හරිම අඩුයි. අම්මා තමයි මගෙයි, මල්ලිගෙයි හැමදේම බලලා කළේ. තාත්තා ඔහුගෙ ජීවිතේම වගේ වෙන් කරලා තිබුණේ ජනතා සේවයට.

අපි හතරදෙනා එකට හිටිය කාලය හරිම අඩු වුණත් එහෙම හිටිය හැම මොහොතක්ම ගෙවුණෙ හරිම වටිනා විදියට. තාත්තා හරිම කැමැත්තෙන් හිටියෙ මමයි, මල්ලියි හොඳට ඉගෙනගන්නවා දකින්න. මම සාමාන්‍ය පෙළ විභාගය කරපු අවුරුද්දෙ තාත්තා කොච්චර මහන්සියෙන් කොච්චර රෑ වෙලා ගෙදර ආවත් මම පාඩම් කරලා ඉවර වෙනකන් නිදාගන්නෙ නැතුව මගේ ළඟට වෙලා හිටියා. මාව පාඩම් කරන්න උනන්දු කරන්න තමයි තාත්තා එහෙම කළේ. තාත්තගෙ තනියට ඒ වෙලාවට අම්මත් ඇහැරලා ඉන්නවා.

තාත්තාගෙන් දඬුවම් විඳපු අවස්ථා එහෙම නැද්ද?

තාත්තා නැති වෙනකොට මට වයස දහසයයි. ඒ අවුරුදු දහසයටම තාත්තා කවදාවත් මට ගහලවත් බැනලවත් අඩු තරමේ සැර කරලවත් නැහැ. මට විතරක් නෙමෙයි, මල්ලිටත් එහෙමම තමයි.

ඔය අවුරුදු දහසයක කාලෙදි තාත්තා දුන්නු ​හොඳම අවවාදය මොකක්ද?

මෙහෙමයි. තාත්තා මිනිස්සුන්ට සෑහෙන උදව් කරපු කෙනෙක්. අම්මටයි මටයි මල්ලිටයිත් තාත්තා නිතරම කිව්වෙ පුළුවන් හැම වෙලාවකම අනෙක් අයට උදව් කරන්න කියලා. මම හිතන්නෙ තාත්තගෙන් අපිට ලැබුණු හොඳම මඟපෙන්වීම ඒක.

තාත්තගෙ කාර්යබහුලත්වය හින්දා ඔබෙයි මල්ලිගෙයි හැමදේම වගේ කළේ අම්මා කියලා ඔබ කලින් කිව්වා. හැබැයි අම්මත් සෑහෙන වගකීම්සහගත රැකියාවක නියැලෙන කෙනෙක්. එවන් පසුබිමක ​ඔබයි මල්ලියි ගැන බලන්න අම්මා කාලය කළමනාකරණය කරගත්තෙ කොහොමද?

මාවයි, මල්ලිවයි පුංචි කාලෙ ගොඩක් බලාගත්තෙ ආච්චි අම්මා. අපේ අම්මගෙ අම්මා. අපිව ඉස්කෝලෙ යවන එක, ටියුෂන් යවන එක වගේ හැමදේම බලලා කළේ ඇය. අම්මට ඇයගෙ රැකියාවත් කරගෙන අපේ දේවලුත් බලන්න පුළුවන් වුණේ ආච්චි අම්මගෙන් ලැබුණු ඒ සහයෝගය හින්දා.

අපේ අම්මට ඉන්නෙ තව එක සහෝදරියක් විතරයි. මගෙයි, මල්ලිගෙයි වගේම අපේ පුංචිගෙ දුවල දෙන්නගෙත් ආච්චි අම්මා තමයි හැමදේම හොයල බලලා කළේ.



තාත්තගෙ හදිසි මරණයට කලින් පවුලෙ හතරදෙනා අන්තිමට නිදහසේ ගත කරපු මොහොත මතකද?

ඔව්. ඒ මොහොත උදාවුණේ මෙහෙමයි. සාමාන්‍ය පෙළ විභාගයේ මගේ ප්‍රතිඵල ආවෙ දෙදහස් අටේ අප්‍රේල් පළමු වැනිදා. විෂයයන් අටටම මට ඒ සාමාර්ථ තිබුණා. මට ලැබුණු ප්‍රතිඵලයට මටත් වඩා තාත්තා සතුටු වුණා. තාත්තා මට කතා කරන්නෙ ‘අක්කි’ කියලා. යාළුවො හැමෝටම කෝල් කර කර ‘අක්කි ඒ අටක් අරන්’ කියලා තාත්තා කිව්වෙ පුදුම සතුටකින්.

ප්‍රතිඵල ඇවිත් දවස් දෙකකට පස්සෙ තාත්තයි, අම්මයි, මමයි, මල්ලියි ගියා ඩිනර් එකකට. තාත්තා ඔහුට යෙදුණු වැඩත් එහෙට මෙහෙට කරලා වෙලාව හදාගෙන තමයි ඔය ඩිනර් එකට ආවේ. අනික සෑහෙන කාලෙකට පස්සේ අපි හතරදෙනාට එහෙම එකට කාලය ගත කරන්න ලැබුණේ.

තාත්තගෙ හදිසි මරණය සිද්ධ වෙන්නෙ ඊට දවස් කිහිපයකට පස්සෙ. හරියටම කියනව නම් අප්‍රේල් හය වෙනිදා. ඊට කලින් දවසෙ රෑත් ඔබේ විභාග ප්‍රතිඵල සතුටට සාදයක් පැවැත්වුවා නේද?

අපේ පවුලෙ අය තමයි ඔබ ඔය කියන සාදය ලෑස්ති කළේ. අපේ පුංචිගෙ ගෙදර ඒක තිබුණේ. හයවෙනිදා පාන්දර මැරතන් එකේ ප්‍රධාන ආරාධිතයා විදිහට යන්න තියෙනවා කියලා තාත්තා පුංචිලගෙ ගෙදර වැඩිවෙලා හිටියෙ නැහැ. අපිට කලින් ඉක්මනින් පිටත්වෙලා ගෙදර ආවා නිදාගන්න ඕන කියලා.

ඔබත්, මල්ලිත්, අම්මත් ගෙදර එනතොට තාත්තා නින්දට ගිහින්ද?

ඔව්. එතකොට තාත්තා නිදි.

තාත්තා උදේ නිවසින් පිටවෙනකොට ඔබ ඇහැරිලාද හිටියේ?

නැහැ. පාටිය ඉවරවෙලා අපි ගෙදර එනකොට ගොඩක් රෑ වුණා. තාත්තා ගෙදරින් පිටත් වෙලා තිබුණෙ පාන්දර. අපි නින්දට ගියේ රෑ වෙලා නිසා තාත්තා යනකොට නින්දේ හිටියේ.

තාත්තා ගිය උත්සවයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා කියන පණිවිඩය මුලින්ම ලැබු‍ණ කොහොමද?

ඒ පණිවිඩය එනකොටත් අම්මයි, මමයි නිදි. මල්ලි ඒ වෙනකොට නැගිටලා ස්විමින් ක්ලාස් ගිහින් හිටියේ. තාත්තගෙ කාර්යාලයෙ කෙනෙක් ‘අපි ඉවරයි’ කියලා කෑ ගහගෙන ගේ ඇතුළට දුවගෙන ආවා. ඒ කෑගැහිල්ලට තමයි අම්මටයි, මටයි ඇහැරුණේ. ඒ මොහොත ගලක කොටලා වගේ ම​ගේ හිතේ තියෙනවා. කවදාවත් ඒක අමතක වෙන එකක් නැහැ.

තමන්ගෙ ජීවිතයට අනතුරත් තියෙනවා කියලා තාත්තා කියල තිබුණෙ නැද්ද?


තාත්තගෙ ජීවිතයට අනතුරක් තියෙනව කියල අපි හොඳටම දැනගෙන හිටියා ඒ නිසා ඒ කාලෙ තාත්තයි, අපියි වැඩිය එකට ගමනක්වත් ගියෙ නැහැ. ගියත් ගියේ වාහන දෙකක. අන්තිම කාලෙ තාත්තා කැමති වුණේ නැහැ එයා යන වාහනේම අපිවත් දාගෙන යන්න. මොකද ඔහුට ප්‍රහාරයක් එල්ල වුණොත් අපිටත් එයින් හානියක් වෙයි කියලා. ආරක්ෂක අංශවලිනුත් එකම වාහනේ යන්න එපා කියලා උපදෙස් දීලා තියෙන්න ඇති.

මරණයට කලින් අන්තිම උපන්දිනය දවසෙ තාත්තා අමුතු කතාවක් කිව්වා නේද?

මෙහෙමයි. තාත්තගෙ උපන්දිනය ජනවාරි එකොළහ. පුත්තලම මරිච්චිකට්ටුවේ තාත්තා පල්ලියක් හැදුවා. උපන්දිනය දවසෙ ඔය පල්ලිය විවෘත කරන්න තාත්තා යොදාගෙන තිබුණේ. ද.මු. දසනායක ඇමතිතුමාට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු නිසා උපන්දිනය දවසේ පල්ලිය විවෘත කිරීම තාත්තට කරන්න බැරි වුණා. ඒ වෙලාවෙ තාත්තා අම්මට කිව්වා ‘මේ පාර උපන්දිනේට මට ඕන විදිහට දේවල් කරගන්න බැරි වුණා, ඊළඟ උපන්දිනය වෙනකම් මම ඉඳීද දන්නෙ නැහැ’ කියලා.

තාත්තා අම්මට ඔය කතාව කියන වෙලාවෙ ඔබත් එතැන හිටියද?

ඔව්. මම හිටියා. මට මතක විදිහට මල්ලිත් හිටියා.

අම්මා මොනවද එතකොට තාත්තට කිව්වේ?

අම්මා කිව්වෙ ‘මේ ළමයි ඉස්සරහ ඕව කියන්න එපා’ කියලා. මම ඔබට තවත් දෙයක් කියන්නම්. තාත්තා නිතරම කියපු දෙයක් තමයි ‘වයසට ගිහින් ලෙඩවෙලා ඇඳක මැරෙන්න මම කැමැති නැහැ, මම කැමති මිනිස්සු ආදරේ කරන වෙලාවෙ මිනිස්සු අතර වෙඩි කාලා මැරෙන්න’ කියලා. තාත්තා කියපු විදිහටම ඔහු මියගියේ මිනිස්සු අතරෙදි. ඒ වගේම මියයන වෙලාවෙ තාත්තා අතේ ජාතික ධජයක් තිබිලා තියෙනවා.



සාමාන්‍යයෙන් කතාවට කියන්නේ තාත්තලා වැඩිපුර ආදරේ දුවලට කියලා. ඒ වගේම දුවලා වැඩිපුර ආදරේ තාත්තලාට කියලා. ​බෝම්බ ප්‍රහාරයකින් තාත්තා හදිසියේ මියයෑම දුවෙකුට දරාගන්න එක ලේසි දෙයක් නෙමෙයි. කොහොමද ඒ අහිමිවීම දරාගත්තේ?

ඔබ කියපු කතාව සම්පූර්ණ ඇත්ත. තාත්තලා දුවලගේ ආදරේ එහෙම තමයි. ඒ දවස් ටික කොහොම ගෙවුණද කියල දැන් කල්පනා කරද්දිත් මට හිතාගන්න බැහැ. හැබැයි මගේ අම්මා කොච්චර ශක්තිමත් ගැහැනියක්ද කියලා මට හරියටම තේරුම් ගියේ තාත්තගෙ මරණයෙන් පස්සේ. අම්මා දීපු ශක්තියෙන් තමයි තාත්තා මියගියාට පස්සේ මමයි, මල්ලියි හිටපු තත්ත්වයෙන් යථා තත්ත්වයට ආවේ. අම්මා වැටු​ණෙත් නැහැ. මටයි, මල්ලිටයි වැටෙන්න දුන්නෙත් නැහැ.

ඔබේ පුංචි අම්මයි, බාප්පයි සෑහෙන උදව් කළා නේද ඒ දුෂ්කර කාලසීමාව පහු කරගන්න?

ඔව්. අපේ අම්මගෙ නංගි විවාහ වෙලා ඉන්නේ තාත්තගෙ මල්ලි එක්ක. තාත්තා මියගියාට පස්සේ පුංචි අම්මයි, බාප්පයි අපේ ගෙදර පදිංචියට ආවා. මම විවාහ වෙනකන්ම ඒ දෙන්නා හිටියෙ අපිත් එක්ක. මමයි, මල්ලියි පුංචිවයි, බාප්පවයි සලකන්නෙ ​අපේ දෙවැනි මව්පියන් විදිහට.

ඔබටයි, මල්ලිටයි තාත්තා නැතිවුණේ දේශපාලන නිසා. අම්මා දේශපාලනයට එද්දි ඔබයි මල්ලියි එක්ක ඒ ගැන කතා කළාද? අම්මා දේශපාලනයට එනවට ඔබයි, මල්ලියි කැමති වුණාද?

දේශපාලනයට එන්න කලින් අම්මා මුලින්ම ඒ ගැන ඇහුවෙ මගෙනුයි, මල්ලිගෙනුයි. මගෙයි, මල්ලිගෙයි වැඩි කැමැත්තක් තිබුණෙ නැහැ අම්මා දේශපාලනයට එනවට. මොකද දේශපාලන කටයුතු නිසා තාත්තා කාර්යබහුල වෙන හැටි අපි දැක්කා. තාත්තා නැති වුණාට පස්සේ අපිට ඉන්නෙත් අම්මා විතරයි. ඉතින් අම්මත් තාත්තා වගේ කාර්යබහුල වෙනවට මමවත්, මල්ලිවත් කැමති වුණේ නැහැ.

හැබැයි තාත්තත් එක්ක ක්‍රියකාරීව දේශපාලනයේ නියැලුණු අය සහ තාත්තට ආදරේ කරපු පාක්ෂිකයන් කළ ඉල්ලීම අම්මට අහක දාන්න බැරි තත්ත්වයක් උදා වුණා. අම්මා එතැනදි ටිකක් හිර වුණා. ඒ නිසා මමයි, මල්ලියි අම්මට දේශපාලනයට එන්න එපා කිව්වෙ නැහැ.

තාත්තා වගේම තමයි, ඔබේ අම්මත් යන්නෙ අභියෝගාත්මක දේශපාලන ගමනක්. විපක්ෂයේ අයගෙන් වගේම පක්ෂෙ අයෙගෙනුත් දොස් අහන අවස්ථා අපි දකිනවා. ඒ වගේ වෙලාවට හිත රිදෙන්නෙ නැද්ද? අම්මා ඔබයි මල්ලියි එක්ක එහෙම අවස්ථා ගැන කතා කරනවද?

මෙහෙමයි. අම්මයි, මමයි, මල්ලියි හරිම එකමුතුයි. අපි තුන්දෙනා අතරෙ කිසිම රහසක් නැහැ. අපි තුන්දෙනාට අපි තුන්දෙනා නැතුව බැහැ. අම්මා මූණ දෙන ඕනිම ප්‍රශ්නයක් මටයි, මල්ලිටයි කියනවා. එහෙම කියලා අපේ අදහසුත් විමසනවා. අම්මා තීරණ ගන්නෙ ඊටපස්සෙ.

අම්මා දේශපාලනයට ආපු මුල් කාලෙ නම් කවුරුවත් දොස් කිව්වෙ නැහැ. පස්සේ කාලෙක තමයි සමහරු දොස් කියන්න ගත්තේ. තමන්ගෙ අම්මට දොස් කියනකොට ඕනිම දරුවෙක්ට හිතට හරි අමාරුයි. ඒක මටයි, මල්ලිටයිත් එහෙමයි. සමහර දවස් තිබුණා අම්මට බණින ඒවා අහලා මට වැඩ කරගන්න බැරිවෙච්ච. මම මේවා අම්මට කියලත් නැහැ.

දැන් කාලයත් එක්ක ඕකට හුරුවෙලා ඉන්නේ. මම දන්නවා කවුරු දොස් කිව්වත් අම්මා නිවැරදියි කියලා. අම්මා නිවැරදි නම් කවුරුවත් කියන ඒවට හිත රිදවගන්න ඕනි නැහැ කියන එක මම දැන් තේරුම් අරන් ඉන්නේ.

ඔ​බේ සැමියා ඔබට මුණ ගැහෙන්නෙ නීති විද්‍යාලයේදි. ඔබට කැමැත්තෙන් හිටිය මුල් කාලෙ ඔබ කාගෙ කවුද කියලා ඔහු දැනගෙන හිටියෙ නැහැ. ඒක දැනගත්තහම ඔහු ඔබෙන් කැමැත්ත අහන්න ටිකක් පස්ස ගැහුවා නේද?

එහෙම දෙයක් නම් වුණා. ඒ මෙහෙමයි. ඔහු මට කැමැත්තක් දක්වන්න ගත්ත මුල් කාලෙම මට තේරුණා, ඔහු මං ගැන උනන්දුයි කියලා. ඔබ කිව්වා වගේ ඒ කාලෙ ඔහු දැනගෙන ඉඳලා නැහැ මම කාගෙ කවුද කියලා. ඊට ටික දවසට පස්සෙ තමයි ඔහු මගේ තාත්තා, අම්මා කවුද කියලා දැනගෙන තියෙන්නේ. ඒ වෙලාවෙ ඔහු හිතලා තියෙනවා මේක නම් හරියන එකක් නෙමෙයි කියලා.

හැබැයි ඔ​හොම කාලය ගත වෙද්දි ඔහුට තේරිලා තියෙනවා මමත් ඔහුට කැමැතියි, මමත් ඔහු ගැන උනන්දුයි කියලා. එතකොට තමයි ඔහු ඔහුගෙ කැමැත්ත මට ප්‍රකාශ කළේ. මම එදාම ඒක අපේ අම්මට කිව්වා.

අම්මා මොකද කිව්වෙ ඉතින්?

හඳහන් බලන්න ඕන කිව්වා. මම ඉතින් හඳහන ඉල්ලලා ගෙනැත් දුන්නා. හඳහන් බැලුවාම විවාහයකට සුදුසු විදිහට හොඳින් ගැලපුණා. එතකොට අම්මා කිව්වා ආශ්‍රය කරලා බලන්න කියලා. ඊට කාලෙකට පස්සෙ තමයි අපි විවාහ වුණේ. දැන් අපිට දරුවෙකුත් ඉන්නවා.

ඔබේ සැමියා මොකද කරන්නේ?

ඔහු නීතීඥයෙක්. නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ.

ඔබේ අම්මා විශේෂඥ වෛද්‍යවරියක්. ඇගේ විෂය ක්ෂේත්‍රය වෙන්නේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව. කොරෝනා පාලනයේදී මීට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් ඇයට ලැබුණ නම්​ හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?

මෙහෙමයි. අම්මට දැනුත් කොරෝනා පාලනයේ වගකීම් රැසක් හිමිවෙලා තියෙනවා. අම්මා ඇයට පැවැරුණු වගකීම් විශාල කැපවීමකින් සහ උනන්දුවකින් ඉටු කරන හැටි මම දකිනවා. මට අම්මා ගැන ආඩම්බරයි. ඇය රට වෙනුවෙන් මේ මොහොතේ විශාල වැඩ කොටසක් කරමින් ඉන්නවා.

ඉතින් අන්තිමට දැනගන්න කැමැතියි, ප්‍රනාන්දුපුල්ලේ පවුලෙන් ඊළඟට දේශපාලනයට එන්නෙ දුවද පුතාද කියලා?

දුව නම් නෙමෙයි. මම ඒක පැහැදිලිව කියන්න පුළුවන්. මල්ලි ගැන හරි අදහස් මේ මොහොතේ කියන්න බැහැ. ඒක කාලය තීරණය කරයි.

හසිත කුරුප්පු (ධරණී)





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu