
රජයේ වසංගත රෝග විද්‍යා අංශය මීට ඉහත කොරෝනා මරණ ගැන විකෘති ලෙස දත්ත ඉදිරිපත් කිරීම නිසා
ජනපතිවරයාගේ විවේචනයට පවා ලක්වූයේ තීරණ ගැනීමට අපහසුතා මතුකරන බව පවසමිනි.
එම ගැටලුව නිසා එකී අංශයේ හිටපු ප්‍රධානියාව මාරු කරන්නටද හේතු විය. නමුත් දැන් කොරෝනා උත්සන්න තත්වයක් වාර්තාවී ඇති පසුබිමක පවා රජයේ සංඛ්‍යාලේඛන 4 ගුණයකින් අඩු කර පෙන්වීමට උත්සාහ දරන බව ගම්පහ දිස්ත්‍රික්කයෙන් හා නැගෙනහිර පළාතෙන් ලැබුණු දත්ත වලින් හෙළිදරව් වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැය 24 කදී වාර්තාවන කොරෝනා ආසාදිතයින් පසුගිය දින කිහිපයේම අඩු අගයකින් පෙන්වා තිබූ අතර පසුගිය අගෝස්තු 01 වනදා සිට අගෝස්තු 09 දක්වා දින 09 සැලකීමේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ බවට වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3629කි.
නමුත් ඊයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී අනාවරණය කළේ එම ගණන ආසාදිතයින් 12,555 බවයි. එනම් 4 ගුණයකට ආසන්න දත්ත අඩු කර ඇත.
සමස්තයක් ලෙස ආසාදිතයින් 8,900කට වැඩි සංඛ්‍යාවක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තානොවී තිබීම ප්‍රශ්නාර්ථයකි.
මෙම සංඛ්‍යා හිතාමතා වෙනස් කර ඇති බව පෙනී යන්නේ එකී 12555 න් රෝහල්ගත කර තිබෙන සංඛ්‍යාව 4046ක් බව පෙනී යාමෙනි. වසංගත රෝග විද්‍යා ඒකකය රෝහල්ගතවී ඇති ගණනවත් එකතු කර නැත.
1,506 දෙනෙකු නිවෙස් තුළ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර කොවිඩ්-19 ආසාදිතයින් 7,000කට වැඩි පිරිසක් නිසි අධීක්ෂණයක් නොමැතිව සිටින බවට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී කියා සිටියේ ඔවුන්ට රජය පිහිට විය යුතුය යන්න දක්වමිනි.
වසංගත රෝග විද්‍යා අංශයේ වැරදි දත්ත නිසා එකී පිහිටවිය යුතු අය ගැන තොරතුරු රජයට නොලැබී ඇති අතර අවශ්‍ය පහසුකම් ලබාදීමට ඒ නිසා උවමනාවක්ද නැතිව ගොස් තිබේ.
ගම්පහ තත්වය අතට හසුවූ ආකාරයට නැගෙනහිර පළාතෙන් 10 වැනිදා හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳව ද විශාල පරස්පරතාවක් පවතින බව මේ වනවිට අනාවරණය වී තිබේ.
නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ පසුගිය පැය 24 තුළ නැගෙනහිර පළාතේ ආසාදිතයින් 837ක් වාර්තාවී ඇති බවය. නමුත් වසංගත රෝග විද්‍යා අංශය කියන්නේ එම ගණන 194 ක් බවයි.එනම් 4 ගුණයකට වැඩි දත්ත සඟවා ඇත.
මඩකලපුව ආසාදිතයින් 45 ක් සදහන් වුවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දත්තවලට අනුව එය 342ක් බවත් ත්‍රිකුණාමලය 71ක් නොව 163ක් බවත් අම්පාර දිස්ත්‍රික්කයේද 78ක් නොව 332ක් ලෙස දැක්වෙයි.
මේ ගැන ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී මාධ්‍ය කළ විමසුමේදී එම අධ්‍යක්ෂවරයා දන්වා සිටියේ ලබන සඳුදා වසංගත රෝග විද්‍යා ප්‍රධානි වෛද්‍ය සමිත ගිනිගේ පැමිණ මීට පිලිතුරක් ලබාදෙනු ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval