kalubowila-dead-bodies

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැත්පත් කර තිබූ හඳුනා නොගත් සිරුරු දහතුනක් භූමදානයටත්, කොවිඩ් ආසාදිත එක් මෘත ශරිරයක් ආදාහනය කිරීමටත් ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් සී.ඒ. ධර්මතිලක මහතා ඊයේ (11 වැනිදා) නියෝග කළේය. 

මේ වනවිට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එයට ගොදුරු වන රෝගීන්ගේ වැඩි වීම මත ඊට සාපේක්ෂව මරණ අනුපාතය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා, කොරෝනා රෝගයෙන් මියයන අයගේ සිරුරු තැන්පත් කිරිමට ඉඩකඩ අවශ්‍ය බැවින්, මෙම හඳුනා නොගත් මළ සිරුරු භූමදානය කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි කොහුවල පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.


ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා කළුබෝවිල  දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ගොස් මෘත ශරිර  නිරික්ෂණය කිරිමෙන් අනතුරුව අදාළ නියෝග ලබාදුන්නේය. එම මෘත දේහවල ඩී.එන්.ඒ. වාර්තා ලබාගෙන එම වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මෙම හඳුනා නොගත් මෘත ශරිර අතරින් එක් මෘත ශරීරයක් කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුගේ වන හෙයින්, එම මෘත ශරීරය සෞඛ්‍ය නීතිවලට අනුකූලව ආදාහනය කිරිමටත්, අනෙකුත් මෘත ශරිර මඩකළපුවට ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කරන ලෙසටත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


-දිලංගා ගෝමස්-