15-The-girl-case

ගල්කිස්ස ප්‍රදේශයේ අවුරුදු 15 ක දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනාත්මකව හෙලිදරව් වූ අපරාධයේදී ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද සම්බන්ධව සිටි බවට මුල් වාර්තා වල කියැවිණි. නමුත් දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් ඒ ගැන කළ විමසීමකදී කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඊට සම්බන්ධ නොවූ බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පවසා තිබේ.


 ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු ද අඩාල වී නොමැති බවද ඔහු පවසයි.


අමාත්‍ය වීරසේකර කියා සිටියේ මේ පිළිබඳ පරීක්ෂණ  පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් තවමත් අඛණ්ඩව සිදු කරන බවයි.
“සමහරු කියන විදිහට අපි පරීක්ෂණ නැවැත්වූයේ නැහැ, මෙම නඩුවට කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධ නැති බව මට තහවුරු කිරීමට හැකියි” වීරසේකර මහතා ඉංග්‍රීසි පුවත්පතකට සඳහන් කළේය.
මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න අදහස් දක්වමින් කියා සිටියේ මෙම ලිංගික සූරාකෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගෑවී ඇතිනම් එය වහාම හෙලි කළ යුතු බවයි.
“රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ ගෘහ සේවකයා පිළිස්සුම් තුවාල වලින් මිය ගිය සිද්ධියට ප්‍රමුඛතාවය දෙනවා සේම ගල්කිස්සේ දැරියටත් එම ප්‍රමුඛතාවය දිය යුතුයි. ”ඇය පැවසුවාය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් දක්වමින් පැවසුවේ පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වන අතර කිසිදු මන්ත්‍රීවරයෙකු මෙම සිද්ධියට සම්බන්ධ නැති බවයි.

මේ සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 40 කට අධික ය. සැකකරුවන් අතර හෘද රෝග විශේෂඥයෙකු, හිටපු මාලදිවයින් රාජ්‍ය මුදල් ඇමති, මිහින්තලේ ප්‍රාදේශීය සභා උප සභාපති, භික්ෂුවක්, නැව් කපිතාන්වරයෙකු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය, ප්‍රමුඛ මැණික් වෙළෙන්දෙකු සහ හිටපු බැංකු කළමනාකරුවෙකු සිටී.